අදත් පැය 5කට වැඩි විදුලිය කප්පාදුවක්..

අදත් පැය 5කට වැඩි විදුලිය කප්පාදුවක්: තවත් ඩීසල් නැව් 2ක් අද දිවයිනට..

by Staff writer 28-02-2022 | 6:54 AM

COLOMBO (News 1st) – අද (28)දිනයේත්, පැය 5කට වැඩි විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම(PUCSL) අවසර දී ති‌බේ.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, A , B සහ C කලාප සඳහා පැය 4 යි මිනිත්තු 40 ක විදුලිය කප්පාදුවක් සිදු කෙරෙන බවයි. P, Q, R, S, T, U, V සහ W කලාප සඳහා අද පැය 5 යි මිනිත්තු 15 ක විදුලිය කප්පාදුවකට අවසර දුන් බව, මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ ය. විදුලිය විසන්දි කරන ප්‍රදේශ සහ කාලසටහන සඳහා පිවිසෙන්න මේ අතර , තවත් ඩීසල් නෞකා දෙකක් අද දින මෙරටට ළඟාවනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කළේ, ඉන් එක් නැවක ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 28,500 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9000ක් පවතින බවයි. ඉන්ධන රැගත් තවත් නෞකාවක ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 30,300 ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7000 ක් අඩංගු බව ද ඇය සඳහන් කළා ය. එම නෞකා මෙරටට ළඟාවන්නේ සිංගප්පුරුවේ සිටයි. මහ බැංකුවේ සහය ලබා ගනිමින්, අදාළ නෞකා සඳහා ගෙවීම් කිරීමට කටයුතු සුදානම් කරමින් ඇතැයි, බලශක්ති අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පැවසුවේ , විදුලි බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000කින් යුත් නෞකාවක් ද ලබන මස 8 වැනිදා මෙරටට ළඟා වන බවයි. ඒ සඳහා වන ණයවර ලිපි මේ වනවිට විවෘත කර ඇති අතර ඊට වැය වන මුදල ඩොලර් මිලියන 20 කි. මේ අතර , ඩොලර් මිලියන 30 ක් වටිනා ණයවර ලිපි විවෘත කළ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 38,400 කින් යුත් නෞකාවේ ඉන්ධන ගොඩබෑම හෙට සිදු කර, අනිද්දා සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට ද මේ වනවිට කටයුතු යොදා තිබේ. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පැවසුවේ, මේ වනවිට රටේ කිසිදු පෙට්‍රල් හිඟයක් නොමැති බවයි. මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ , ඉදිරි දින දෙක සඳහා ලංගමයට ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාගෙන ඇති බවයි. ලංගම පිරවුම්හල් හරහා පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් කෙරෙහි අවදානය යොමුවී ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවේ ය.