ලංකා IOC ඉන්ධන මිළ යළි ඉහළට..

ලංකා IOC ඉන්ධන මිළ යළි ඉහළට..

by Staff writer 26-02-2022 | 6:07 AM

COLOMBO (News 1st) –  ලංකා ඉන්දීය තෙල් සමාගම (LIOC) ඉන්ධන මිල යළි ඉහළ දමා තිබේ.

ඒ, ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ය. පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර, පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204 කි. ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 15 කිනි. ඒ අනුව නව මිල රුපියල් 139 කි. නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඉන්දීය තෙල් සමාගම සඳහන් කළේ, ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බවයි. ලංකා ඉන්දීය තෙල් සමාගම මසක් තුළ ඉන්ධන මිල ඉහළ දැමූ දෙවන අවස්ථාව මෙය වේ. මේ අතර, ඉන්ධන රැගත් නෞකා දෙකක් සඳහා ණයවර ලිපි විවෘත කළ බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 38,400 කින් යුත් නෞකාවක් සඳහා ණයවර ලිපි විවෘත කළ බවය. ඊට වැය වන මුදල ඩොලර් මිලියන 30 කි. බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, නෞකාවේ ඇති පෙට්‍රල් ගොඩබෑම හෙට සිදු කර අනිද්දා සිට බෙදාහැරීමේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි. මීට අමතරව, මෙට්‍රික් ටොන් 30,000කින් යුත් දැවිතෙල් නෞකාවක් සඳහා ද, ණයවර ලිපි විවෘත කෙරිණ. ඊට වැය වන මුදල ඩොලර් මිලියන 20 කි. එම නෞකාව ඉදිරි සතිය තුළ මෙරටට ළගාවුනු ඇතැයි, අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර, තවත් ඩීසල් සහිත නෞකා දෙකක් ඉදිරි සතියේ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව, බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, සිංගප්පුරුවේ සිට එම නෞකා මෙරටට යාත්‍රා කරන බවයි. මහ බැංකුවේ සහය ලබා ගනිමින්, අදාළ නෞකා සඳහා ගෙවීම් කිරිමට කටයුතු සුදානම් කරමින් ඇතැයි, අමාත්‍යාංශය පැවසුවේ ය. මේ අතර, ඉන්ධන මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, රුසියා - යුක්‍රේන අර්බුදයට පෙර බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා ඇති බවය.