විනාශකාරී තත්ත්වය එන්නත්කරණයෙන් පාලනය වුණා..

රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණය මගින් පාලනය කිරිමට හැකිවුණා - ජනපති -

by Staff writer 26-02-2022 | 12:24 PM

COLOMBO (NEWS1ST):  රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඊයේ(26) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති “සර්ව එන්නත්කරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ තේමාත්මක විවාදය” අමතමින් ය. ගෝලීය වශයෙන් එන්නත් ලබාගැනීමේ හැකියාවේ අසමානතා පවතින අවස්ථාවක, නව ප්‍රභේද මතුවීමේ භයානක සම්භාවිතාවක් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම තැනකම, සෑම කෙනෙකුටම එන්නත්කරණය සිදු කිරීම වසංගතයෙන් මිදීමට ඇති හොඳම මාර්ගය බව රාජ්‍ය නායකයන් හමුවේ යළි අවධාරණය කළේ ය. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් (Abdulla Shahid) සහ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) යන මහත්වරුන් විවාදය ආරම්භයේ අදහස් දක්වමින් කොවිඩ් එන්නත්කරණයේ ඇති වැදගත්කම සහ විවිධ රාජ්‍යයන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.