by Staff writer 25-02-2022 | 2:59 PM
COLOMBO (News 1st) – යුක්රේනය රැක ගැනීම වෙනුවෙන් තනිව සටන් කරන බව යුක්රේන ජනාධිපතිවරයා අවධාරණය කරයි.
යුක්‍රේන ජනාධිපති වොලොඩමීර් සෙලෙන්ස්කි පවසන්නේ, රුසියානු ආක්‍රමණය මැඩ පැවැත්වීමට බටහිර මිත්‍ර පාර්ශ්වික රටවල්වලින් යළි උදව් ඉල්ලා සිටින බවයි.
''ඊයේ වගේම අද උදෑසන සිට අපි තනිව සටන් වදිනවා. ලෝකයේ බලවත් රටවල් දුර සිට අප දෙස බලා සිටිනවා'' - යුක්‍රේන ජනපති
යුද්ධය අවසන් කිරීමට නම් රුසියාව, යුක්රේනය සමග කඩිනම් සාකච්ජාවකට පැමිණිය යුතු බව යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ, තමන් රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් සමග සාකච්ජා කර ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස ඉල්ලා සිටි බවයි.
රුසියානු හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් යුක්‍රේන සොල්දාදුවන් ද ඇතුළුව යුක්‍රේන වැසියන් 137 දෙනෙකු මියගොස් ඇතැයි යුක්රේනය තහවුරු කළේ ය.
මේ අතර, යුක්‍රේනයේ කිවි අගනුවරින් අද උදෑසන තවත් පිපිරීමක් වාර්තා වූ අතර, එය අගනුවරින් වාර්තා වූ තුන්වැනි පිපිරීමයි.
මේ අතර රුසියානු ගුවන් යානයක් වෙඩි තබා බිම හෙළු බව යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.
මෙම ගුවන් යානයට වෙඩි ප්‍රහාර එල්ල කර ඇත්තේ කිවි අගනුවරදී ය.
වෙඩි ප්‍රහාර හමුවේ කිවි අගනුවර පිහිටි මහල් නවයකින් යුත් ගොඩනැගිල්ලක්ද ගිනි ගෙන ඇතැයි ද ,විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.