පද්මිණී රණවකගේ අයිතිවාසිකම් පෙත්සමට දින නියම වේ

හිටපු මහා අධිකරණ විනිසුරු පද්මිණී රණවකගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ.

by Staff writer 24-02-2022 | 6:53 PM

COLOMBO (News 1st) – හිටපු මහ අධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 4 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීරණය කළේ ය.

ඒ, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම තමන්ට එරෙහිව කර ඇති නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බලමින් ය. ගාමිණි අමරසේකර , යසන්ත කෝදාගොඩ සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද මෙම පෙත්සම සලකා බැලිණි. දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ කොමිසමේ එම නිර්දේශ මගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දු කරන ලෙසට ඉල්ලා හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය මෙම පෙත්සම ගොනු කර තිබුණි.