අයිතිකරුවන් ළඟට යන 'දෙව්මිණි' හා 'වස්තු'

වසර 6කට පසු අයිතිකරුවන් ළඟට යන 'දෙව්මිණි' හා 'වස්තු'

by Staff writer 24-02-2022 | 4:42 PM

COLOMBO (News 1st) – වසර 6ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි දෙව්මිණි හා වස්තු නමැති අලි දෙදෙනා ඔවුන්ගේ අයිතිකරුවන් වෙත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද(24) නියෝග කළේ ය.

ඒ, ප්‍රතිශෝධන පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ කැඳවු අවස්ථාවේදී ය. අලි සන්තකයේ තබා ගැනීමට නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැති බව පවසමින්, 2016 වසරේ මාර්තු මස 04 වැනිදා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අලි සිය භාරයට ගත්තේ ය. අලි දෙදෙනා උඩවලව හා පින්නවල අලි අනාථාගාවල රඳවා සිටි අතර ඔවුන් මුදා හරින ලෙසට ඉල්ලා ඔවුන්ගේ අයිතිකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝග කළේ ය. අලි දෙදෙනා මුදාහැරීමට නියෝග කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ, මෙම අලි සම්බන්ධව අපරාධමය චෝදනාවක් එල්ල නොවන බැවින් අලි මුදාහැරීම සම්බන්ධව නීතිමය වශයෙන් බාධාවක් නොවන බවයි.