දුම්රිය සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන්න

දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන්න - ජනපතිගෙන් ප්‍රවාහන අමාත්‍යවරියට උපදෙස්

by Staff writer 24-02-2022 | 5:42 PM

COLOMBO (News 1st) – දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දී ඇත්තේ, අද(24) පෙරවරුවේ රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණයකට සහභාගි වෙමින් ය. සේවක බඳවා ගැනීම, උසස්වීම් හා සම්පත් කළමනාකරණය ඇතුළු පවතින සියලුම ගැටලු සැළකිල්ලට ගෙන මාස 2 ක් ඇතුළත ඒවාට විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබේ. දුම්රිය අලුත්වැඩියාවේදී හඳුනාගත් අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සකස් කර ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ප්‍රධාන ඉංජිනේරුවරයාට උපදෙස් ලබා දුන්නේ ය. කර්මාන්තශාලා පරිශ්‍රය තුළ භාවිතයට නොගෙන ගොඩගසා තිබෙන අබලි ද්‍රව්‍ය වෙන්දේසි කර ඉන් ලැබෙන මිලියන 600ක පමණ ආදායම දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ සේවක අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා එහිදි නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.