අද (24)ත් පැය 4 කට වැඩි විදුලි කප්පාදුවක්

අද (24)ත් රට පුරා පැය 4 කට වැඩි විදුලි කප්පාදුවක්

by Staff Writer . 24-02-2022 | 8:16 AM

COLOMBO (News 1st) –  අද දිනයේත් පැය 04 කට වඩා වැඩි කාලයකට විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ලබාදී තිබේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, A, B, C ප්‍රදේශ සඳහා පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කරන බවයි. අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 4 යි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබේ. මේ අතර කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලටත් අද සිට විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, එම ප්‍රදේශ සඳහා විදුලිය කප්පාදු කරන කාලය පිළිබඳ මෙතෙක් අවසන් තීරණය ගෙන නොමැති බවයි. ඒ ඒ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාවන් පිළිබඳ සවිස්තරය පහතින්.... මේ අතර පසුගිය ඉරිදා මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවේ ඩිසල් තොග අතුරින් මෙට්‍රික් ටොන් දසදහස් දෙසියක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ, දින 6 කට ප්‍රමාණවත් වන පරිදියි. මේ අතර, තවත් පෙට්‍රල් මෙට්රික් ටොන් 38,300 ක් රැගත් තවත් නෞකාවක් හෙට දිනයේ සිංගප්පුරුවේ සිට මෙරටට ළඟා වීමට නියමිතව ඇතැයි ‍බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය සඳහන් කළේ ය. ඇය පැවසුවේ, අදාළ නෞකාව නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 33 ක් පමණ වන ණයවර ලිපි විවෘත කරන්නැයි මහ බැංකුවෙන් ඉල්ලා ඇති බවයි. මීට අමතරව තවත් ඩිසල් රැගත් නෞකා 2 ක් සහ දැවි තෙල් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපයේ මෙරටට ළඟා විමට නියමිතව ඇතැයි බලශක්ති අමාත්‍යංශ ලේකම්වරිය සඳහන් කළා ය.