මෙලීසියා ඝාතනය;පින්තාරුකරුගේ මරණ දඬුවම ස්ථීරයි

මාධ්‍යවේදිනී මෙලීසියා ගුණසේකර ඝාතනය ; පින්තාරුකරුගේ මරණ දඬූවම ස්ථීරයි

by Staff writer 23-02-2022 | 5:39 PM

COLOMBO (News 1st) - මාධ්‍යවේදිනී මෙලීසියා ගුණසේකර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කළ පින්තාරුකරුවෙකුට කොළඹ මහාධිකරණය නියම කර තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය ස්ථිර කළේ ය .

සම්පත් අබේකෝන් සහ පී.කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ ය. 2014 වසරේ පෙබරවාරි මස 02වැනිදා බත්තරමුල්ල, සුභූතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි ඇගේ නිවසට අයුතු ලෙස ඇතුළු වීම, කොල්ලකෑම සහ උල් ආයුධයකින් ඇන , ඇය ඝාතනය කිරීම යන චෝදනා මත අරුලානන්ද ඇන්තනී රැම්සන් ජෝර්ජ් නමැති පින්තාරුකරුවකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2017 වසරේ ජූලි මස 5 වනදා කොළඹ මහාධිකරණය විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරමින්, මරණීය දණ්ඩනය සහ අයුතු ඇතුළුවීම හා කොල්ලකම් යන චෝදනාවලට සිර දඬුවම් නියම කළේ ය. එම දඬුවමින් තමන්ව නිදොස් කොට, නිදහස් කරන ලෙස ඉල්ලා පසුව විත්තිකරු අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේ ය. කොළඹ මහාධිකරණ විනිසුරුවරයා දඬුවම් ප්‍රකාශයට පත් කිරීමේදී නිසි පටිපාටිය අනුගමනය කර ඇතැයි තීන්දු කරමින් විත්තිකරුගේ අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේ ය.