"ජය ශ්‍රී"ට එරෙහි වාරණ නියෝගය ඉවතට

"ජය ශ්‍රී"ට එරෙහි වාරණ නියෝගය ඉවතට

by Staff writer 23-02-2022 | 6:56 PM

COLOMBO (News 1st) - මොඩ් ගොවියා" සහ "සුන්දරියේ "ගීත ඇල්බම් දෙකෙහි ජනප්‍රිය ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා අලෙවිය වළක්වමින් "ජය ශ්‍රී "සංගීත කණ්ඩායමේ ශිල්පීන් දෙදෙනෙකුට එරෙහිව පැනවූ වාරණ නියෝගය කොළඹ වාණිජ මහාධිකරණය අද (23) ඉවත් කළේ ය.

වාරණ නියෝගය ඉවත් කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ‍ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැමිණිල්ල ලබන මැයි 27 වැනිදා කැඳවීමට දින නියම කළේ ය. "ජය ශ්‍රී" සංගීත කණ්ඩායමේ සාමාජික සංගීත අධ්‍යක්ෂ, තනු නිර්මාණ ශිල්පී හා ගායන ශිල්පී අරුණ ලියාන් මහතා බුද්ධිමය දේපොළ පනත යටතේ ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව සංගීත ශිල්පීන් වන රොහාන් ජයලත් සහ රෝහිත ජයලත් ට මෙම වාරණය නිකුත් කර තිබුණි. වාරණ නියෝගය නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බැවින් එය ඉවත් කරන ලෙස අදාල පැමිණිල්ලේ වගඋත්තරකරුවන් දෙදෙනා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ. මේ වනවිටත් සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින වගඋත්තරකරුවන් දෙදෙනා තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම සම්පාදනය කළ "මොඩ් ගොවියා" සහ "සුන්දරියේ" යන ගීත ඇල්බම්වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපල පනතට පටහැනි බවත් පවසමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.