පාර්ලිමේන්තුව අද (22) රැස්වේ

පාර්ලිමේන්තුව අද (22) රැස්වේ

by Staff Writer . 22-02-2022 | 9:29 AM

COLOMBO (News 1st) –  අද සිට 25 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ඒ අනුව නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ රෙගුලාසියක් මෙන්ම රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ රෙගුලාසියක් අද පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතයි. හෙට දිනය පුරා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල්තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතව ඇතැයි සභා නායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට සංශෝධනයක් ද ගස් හෙළීමේ පනත යටතේ පොල් ගස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගයක් ද , ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. ‍ එමෙන්ම, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝගයක් ද එදින පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ය. 25 වැනි සිකුරාදා, පසුගිය සමයේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි පාර්ලිමේන්තුවේ සභානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. මේ අතර අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා රැසක් මේ සතියේ රැස්වීමට නියමිතයි. මේ අනුව මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 24 වන දිනවල රැස්වීමට නියමිතව තිබේ. අද දිනයේ බලශක්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, කෘෂිකර්ම කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ වනජීවී සහ වනසංරක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වනු ඇති. හෙට දිනයේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද රැස්වීමට නියමිතව තිබේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක්ද අද පැවැත්වීමට නියමිතයි.