පෙට්‍රල් රැගත් නැවක් කොළඹ වරායට

පෙට්‍රල් රැගත් නැවක් කොළඹ වරායට

by Staff writer 19-02-2022 | 9:49 PM

COLOMBO (News 1st) - පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නැවක් අද (19) කොළඹ වරායට ළඟා වූ බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය ප්‍රකාශ කළාය.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කළේ ,සිංගප්පුරු සැපයුම්කරුවෙකු මගින් එම ඉන්ධන තොගය මෙරටට ලැබුණු අතර එම නෞකාව ඉන්දියාවේ සිට අද (19) දිනයේ මෙරටට ළගා වූ බව ය. දින 30 ක කාලයක් තුළ පෙට්‍රල් තොගයට අදාළ ගෙවීම් සඳහා ඩොලර් මිලියන 31.75 ක් ගෙවීමට ණයවර ලිපියක් විවෘත කර ඇති බවද ඇය සඳහන් කළා ය. ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක් ද හෙට (20) දිවයිනට ළගා වීමට නියමිතය. එය සෘජු මුදල් ගෙවීම් යටතේ ලබා ගන්නා අතර ඊට වැය වන මුදල් ඇමරිකානු ඩොලර් මිලියන 26.7 කි. ඊට අදාළ ගෙවීම් සඳහා බලශක්ති අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහ බැංකුවට රුපියල් වලින් ගෙවා තිබේ. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පැවසුවේ, අදාළ මුදල් ගෙවීම සඳුදා වනවිට සිදු කර තෙල් ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමටට බලාපොරොත්තු වන බවය. මේ අතර පෙර ලැබුණු ඉන්ධන තොග බෙදා හැරීමේ කටයුතු මේ වන විටත් සිදුවන බව ඛනිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරයි. අද (19) පසුගිය දින දෙකේ මෙන් බොහෝ ස්ථානවල ඉන්ධන පෝලිම් දක්නට ලැබුණේ නැත. නමුත් ඉන්ධන පෝලිම් පැවති සහ තෙල් තොග අවසන් වුණු පිරවුම්හල් පිළිබඳවත් අපට තොරතුරු වාර්තා විය.