රන් කරඬු සොරුන් ගැන නිවැරදි තොරතුරකට රු. ලක්ෂ 25ක්

රන් කරඬු සොරුන් ගැන නිවැරදි තොරතුරක් දුන්නොත් රු. ලක්ෂ 25ක්...

by Sagarika Chathumali 18-02-2022 | 1:27 PM

COLOMBO (NEWS1ST):  රඹුක්කන, කොටවෙහෙර රජමහා විහාරයේ රන් කරඬු සොරා ගත්  සැකකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයක් පිරි නැමීමට පොලිසිය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පැවසුවේ,  සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 25ක (රු. 25,00,000/-) මුදල් ත්‍යාගයක් පිරි නැමීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බවයි. එලෙස ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය රකින බව ද පොලීසිය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්  වේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් හෝ සැකකරුවන් පිළිබඳ තෙරතුරු වේ නම්, පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දි සිටී. ‍ ?සහකාර පොලිස් අධිකාරි ඇන්ජලෝ ප්‍රනාන්දු - 071 8591772 ?ප්‍රධාන පොලිස් පරීක්ෂක සිදත් ජයසේකර - 0718591924 ?අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය - 0112422176

කොටවෙහෙර රජ මහා විහාරයේ රන් කරඬු අතුරුදන්...

රඹුක්කන, දැලිවල කොටවෙහෙර රජ මහා විහාරයේ රන් කරඬු පහක් සහ පළිඟු කරඬු තුන සොරකම් කර ඇති බවට අනාවරණය වී තිබුණේ,  පෙබරවාරි 12 වනදායි. එදින පස්වරු 6.15 ට පමණ ධාතු මන්දිරය වසා දමා ඇති අතර පසුදා අලුයම 5.20 ට පමණ නැවත තේවාවව පැවැත්විම සඳහා ධාතු මන්දිරය විවෘත කරන අවස්ථාවේදි  එහි කරඬු අතුරුදන් බව අනාවරණය වී ඇත. මෙම රන් කරඬු හා පළිඟු කරඬු සොයා ගනු ලැබ ඇත්තේ,  1956 සහ 2000 වසරවලදී දැලිවල කොටවෙහෙරේ සිදු කරන ලද කැණීම්වලිනි. 1956 දී සොයාගත් කරඬුව ඉන්දියාවේ සාංචි ස්ථූපයේ ආකෘතියකට අනුව නිර්මාණය කර ඇති අතර, කාල නිර්ණවලදී එය ක්‍රිස්තු පූර්ව 250 ට පමණ අයත් වන බව සැලකේ. දැලිවල කොටවෙහෙර දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ කීර්ති තිස්ස නම් කුමරෙකු විසින් ඉදිකරන ලද්දක් බවට ඓතිහාසික ලේඛනවල සඳහන් ය.