by Staff writer 17-02-2022 | 3:46 PM
COLOMBO (News 1st) – ලබන 22 වැනිදා සිට 25 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, කාරක සභාව අද(17) රැස්වූ අවස්ථාවේ එම තීරණය ගත් බවයි.
ඒ අනුව නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ රෙගුලාසියක් මෙන්ම රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ රෙගුලාසියක් ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතයි.
23 වැනි බදාදා, දිනය පුරා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල්තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතව ඇතැයි සභා නායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට සංශෝධනයක් ද, ගස් හෙළීමේ පනත යටතේ පොල් ගස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගයක් ද, ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.
එමෙන්ම, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝගයක් ද එදින පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
25 වැනි සිකුරාදා, පසුගිය සමයේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි පාර්ලිමේන්තුවේ සභානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.