by Staff Writer . 16-02-2022 | 9:48 PM
COLOMBO (News 1st) - මහා පරිමාණයෙන් විදුලිය භාවිත කරන ආයතන හා පුද්ගලයින්ට ඔවුන් සතු ජනන යන්ත්‍ර භාවිතයෙන් විදුලිය සපයා ගැනීමට ඉඩ ලබාදී ජාතික පද්ධතියෙන් ලබාදෙන සැපයුම විසන්ධිකරන්නැයි මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා සඳහන් කළේ ජනන යන්ත්‍රවලින් විදුලිය සපයා ගැනීමේදී ඒකකයකට රුපියල් 36 ක මුදලක් ගෙවීමටද සූදානම් බව ය.
මාස තුනක කාලයක් සඳහා විදුලි කප්පාදුවකට විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කල මහජන උපයෝගීතා කොමිසම ඊයේ (15)විකල්ප නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කළේ ය.
ජල විදුලිය ජනනය කිරීම සියයට 50 කින් අඩුකිරීම,
මහාපරිමාණ විදුලි පාරිභෝගිකයින් සහ ආයතන තමන්ගේ ජනන යන්ත්‍ර භාවිත කිරීම,
රාත්‍රී 6 ත් 10 ත් අතර නිවාස වල වායු සමීකරණ අවශ්‍ය නම් ඒ සඳහා අනිවාර්යෙන්ම ජනන යන්ත්‍ර යොදා ගැනීම,
රාජ්‍ය ආයතනවල විදුලි පරිභෝජනය අඩු කිරීම.
පළාත් පාලන ආයතන විදුලිය පරිභෝජනය සියයට 80 කින් අඩුකිරීම.
එම යෝජනාවලට ඇතුළත් වේ.
මහජන උපයෝගිතා කොමිසමේ මෙම නිර්දේශ අද (16) දහවල් වනවිටත් ලිඛිතව නොලැබුණු බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.
විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා සඳහන් කළේ , මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ ප්‍රායෝගික නොවන බව ය.
ජල විදුලිය සීමා කරන ලෙස දක්වා තිබුණත් එය ජල කළමණාකරණ කමිටුවේ නිර්දේශ මත සිදුකල යුතුව ඇතැයි එම මහතා සඳහන් කළේ ය .
සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ , නිවාසවල වායුසමීකරණ අක්‍රිය කිරීම සහ පුද්ගලික අංශයේ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලිම් කළ හැකි වුවත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මකවනවාදැයි නිරීක්ෂණය කිරීම ගැටලු සහගත වන බවය.
ඇතැම් ගොඩනැගිලි වායු සමීකරණ නොමැතිව භාවිත කළ නොහැකි බවද එම පෙන්වා දෙයි.
මේ අතර මහජන උපෝගිතා කොමිසම නිර්දේශ කළ පරිදි විදුලිය නිෂ්පාදනය සඳහා ජලය නිකුත් කිරීම සියයට 50 කින් අඩු කර ඇත්දැයි අප විමසීමක් කළේ ය.
ජල කලමණාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැවසුවේ, ඔක්තොම්බර් මාසය වනතෙක් ජලය නිකුත් කිරීමේ තම සැලැස්මට අනුව එම කටයුතු ක්‍රියාත්මක වන බව ය.