CIDය අත්අඩංගුවට ගත් ෂෙහාන් මාලකට ඇප

CIDය අත්අඩංගුවට ගත් ෂෙහාන් මාලකට ඇප

by Staff Writer . 15-02-2022 | 11:53 AM

COLOMBO (News 1st) – සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ මහතා ඇප මත මුදාහැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද නියෝග කළා ය.

ඒ රුපියල් 15000  ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. ශෙහාන් මාලක ගමගේ මහතා ඊයේ පස්වරුවේ නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබී ය. ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 120 වගන්තිය අනුව සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ සැකකරුට ඇප නියම කළ හොත් මහජනතාව අතර කැළඹීමක් ඇති විය හැකි බවයි. සැකකරු 2021 අගෝස්තු මස 17දා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රීය කතෝලික දේවස්ථානයේ සිට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා කළ ප්‍රකාශ සම්බන්ධව දිවයිනේ නන් දෙසින් පැමිණිලි ලද බවත් එම ප්‍රකාශ හා පැමිණිලි අනුව කළ විමර්ශන මත නීතිපතිවරයාගෙන් ලබාගත් උපදෙස්  අනුව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 120 වගන්තිය අනුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා වින්දිත වූ පුද්ගලයන් වෙනුවෙන් හඬක් නැඟූ සිවිල් ක්‍රියාකාරික වන මෙම සැකකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 120 වගන්තිය ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු සමස්ත කතෝලික ජනතාවම අගතියට පත්වන බව ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අද අධිකරණයට දැනුම් දුන්නේ ය. ඔහු එසේ දන්වා සිටියේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිමිනි. පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ වෙන විටත් කිසිදු සැකකරුවෙකුට අධිකරණයක් මගින් කිසිදු දඬුවමක් නියම නොකර ඇති මෙවන් අවස්ථාවක වින්දිත හා අගතියට පත් පාර්ශවයන් වෙනුවෙන් හඬක් නැඟූ මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීම සමස්ත කතෝලික ප්‍රජාවම අගතියට පත් කිරීමක් බව ද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැවසී ය. සිද්ධිය සිදුවී මාස අටක කාලයක් ගත වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන ආකාරයේ කිසිදු මහජන කැළඹීමක් තමන්ට දක්නට නොලැබෙන බව පවසා සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා සැකකරු ඇප මත මුදා හරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ මහජන කැළඹීමක් ඇති වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ ද, එවන් කිසිම කැළඹීම් තත්ත්වයක් සම්බන්ධව අද අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ පර්මාන් කාසිම් මහතා පැවසී ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් සාධාරණ කරුණු ඉදිරිපත් කර නැති බව පවසා සිටි ජනාධිපති නීතිඥවරයා ඔහු ඇප මත මුදා හරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුට ඇප නියම කරමින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින්  නියෝගයක් ද නිකුත් කළා ය. සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දීමට නියෝග කළ විනිසුරුතුමිය සෑම මසකම අවසන් ඉරිදා උදේ 9ත් 12 ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කිරීමේ ඇප කොන්දේසියක් ද පැනවූවා ය.