චමුදිතගේ නිවසට පහර දුන් පුද්ගලයින් තවමත් නිදැල්ලේ

මාධ්‍යවේදී චමුදිතගේ නිවසට පහර දුන් පුද්ගලයින් තවමත් නිදැල්ලේ...

by Staff Writer . 15-02-2022 | 9:44 PM

COLOMBO (News 1st) – නිදහස් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ලකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 21 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ තවත් පොලිස් අධිකාරිවරයෙකුගේ මුලිකත්වයෙන් පරික්ෂණ සිදුකරන බවයි. පහරදීමට සැකකරුවන් පැමිණි වාහනය සොයා ගැනීම සඳහා අද පොලිස් නිලධාරින් 60 දෙනෙකු පමණ යොදවා පිළියන්දල ප්‍රදේශයේ මාර්ගවල ඇති CCTV කැමරා පරික්ෂාවට ලක්කළ බව ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ය. ආයුධ සන්නද්ධ පිරිසක් ඊයේ අලුයම එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. නිදහස් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචි පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් නිවාස සංකීර්ණයට ඊයේ අලුයම ආයුධ සන්නද්ධව පැමිණි සිව් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර තිබිණ. සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිස ප්‍රධාන පිවිසුමේ ගේට්ටුව බලහත්කාරයෙන් විවෘත කරවා නිවාස සංකීර්ණයට ඇතුළුවී තිබුණේ, එහි සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරීයා ද බියවද්දවමිනි. අනතුරුව පිරිස චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ගල් මුල් ප්‍රහාරයක් සහ අසුචී ප්‍රහාර එල්ල කර තිබෙන අතර ඉන් නිවසට දැඩි හානි සිදු විය. මේ අතර අදත් සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීහු චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පැමිණියහ.