මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට මැර ප්‍රහාරයක්

by Staff Writer . 14-02-2022 | 12:48 PM

COLOMBO (NEWS1ST): මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද අලුයම නාඳුනන පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ මහතා පදිංචි පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් නිවාස සංකීර්ණයට සුදු පැහැති වෑන් රථයකින් පැමිණි සිව්දෙනෙකු පළමුව නිවාස සංකීර්ණයේ ප්‍රධාන පිවිසුමේ ගේට්ටුව බලහත්කාරයෙන් විවෘත කරවාගෙන තිබේ. පසුව එහි සිටි ආරක්ෂක අංශ සේවකයාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුට තර්ජනය කර බියවද්දා මාධ්‍යවේයාගේ නිවස වෙත පැමිණ ඇතැයි සඳහන් ය. ‍ මෙලෙස නිවාස සංකීර්ණයට ඇතුළු වූ නාදුනන පුද්ගලයින් චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ගල් මුල් ප්‍රහාරයක් සහා අසුචී ප්‍රහාර එල්ල කර තිබෙන අතර ඉන් නිවසට දැඩි අලාභ හානි සිදුව තිබේ. මේ අතර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එල්ල වු මැර ප්‍රහාරය ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පිළිකුලින් යුතුව හෙළා දකින බව නිවේදනය කර තිබේ. එම සංගමය පවසන්නේ, මැර ප්‍රහාර එල්ල කරමින් සිදුකරමින් මාධ්‍යවේදීන් නිහඬ කිරීමට කිසියම් පිරිසක් උත්සහා දරනවා නම්, ඊට එරෙහිව මෙන්ම මෙවැනි නින්දිත මාධ්‍ය මර්දන වැළැක්වීමට අදාළ බලධාරීන් වහාම පියරව ගත යුතු බවයි. මේ සම්බන්ධයෙන් නිව්ස් ෆස්ට් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි. පිළියන්දල පොලිස් ස්ථානයේන් සහ කැස්බෑව පොලිස් ස්ථානයෙන් සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් එම විමර්ශන ක්‍රියාත්මක කරනු ඇති. ගල්කිස්ස පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මෙහෙයවීමෙන් අදාළ විමර්ශන ක්‍රියාත්මකයි. නිවසට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය අපරාධ පරික්ෂණ නිලධාරින් , ඇඟිලි සලකුණු පරික්ෂකයින් සහ පොලිස් නිල සුනඛයින් ද යොදවා පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.