සහන නොලැබුණොත් යළි තෙල් මිල වැඩි කිරීමේ සූදානමක්

බදු සහනයක් හෝ තෙල් මිල වැඩිකිරීමක් අවශ්‍යයි - තෙල් සංස්ථාව

by Staff Writer . 14-02-2022 | 1:42 PM

COLOMBO (NEWS1ST): ඉන්ධන මත පනවා ඇති බදු සඳහා සහනයක් හෝ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කරන්නැයි, ලංකා ඛණිජ තෙල් නිතීගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

බලශක්ති අමාත්‍යාංශ සඳහන් කළේ, පවතින තත්ත්වය යටතේ ඉන්ධන මිල මෙලෙස පවත්වාගෙන යාමෙන්, දැඩි අලාභයක් ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවට දරා ගැනීමට සිදුව ඇති බවයි. එම තත්ත්වය තුළ නිතීගත සංස්ථාවට රුපියල් නොමැති වීමෙන් ඉදිරියේදී ඩොලර් ලබා ගැනීම ද අභියයෝගයක් වී ඇතැයි අමාත්‍යාංශය පෙන්වා දෙයි. බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, ඩොලර් නොමැති වීමෙන් ඉදිරියේදී රටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම අර්බුදකාරි තත්ත්වයකට ලක්වනු ඇති බවයි. මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඉන්ධන මත පනවා ඇති බදු සඳහා සහනයක් හෝ ඉන්ධන මිලෙහි වැඩිවීමක් කඩිනමින් සිදුකරන්නැයි, ඛනිජ තෙල් නිතීගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පසුගිය 6 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමී ය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ ගිය අතර එහි නව මිල වන්නේ රුපියල් 184 කි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 03 කින් ඉහළ දැමු අතර නව මිල රුපියල් 213 කි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් ලීටරයක මිල ද රුපියල් 3 කින් ඉහළ දැමීමට පියවර ගත් අතර, ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 124 ක් වේ.