දේවස්ථානයේ අත්බෝම්බය :වෛද්‍යවරයා රිමාන්ඩ්

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බය: අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා රිමාන්ඩ්

by Staff Writer . 14-02-2022 | 3:37 PM

COLOMBO (NEWS1ST) :බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටි විශ්‍රාමික වෛද්‍ය ෂර්ලි හේරත් මහතා ලබන 28 වැනිදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ ඔහු අද කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. වෛද්‍ය ෂර්ලි හේරත් මහතා මසකට ආසන්න කාලයක් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටියේ ය. අද මෙම සිද්ධිය කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කියා සිටියේ, දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමින් සිද්ධිය සම්බන්ධව වැඩිදුරටත් විමර්ශන කරන බවයි. බෙල්ලන්විල රජමහා විහාරස්ථාන පරිශ්‍රය ,කොළඹ ලංකා පෞද්ගලික රෝහලේ, බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයෙත් බෝම්බ තැබීමේ සිද්ධියේ සැලසුම්කරු ලෙස සැකකාර වෛද්‍යවරයා කටයුතු කර ඇති බව දිලීප පිරිස් මහතා අද අධිකරණයට පවසා සිටියේ ය. ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අද අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු නඩු කටයුතු අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ  හවීල් පාරිස් මහතා පවසා සිටියේ සැකකරුට එරෙහිව ඇති චෝදනා සනාථ කිරීමට ප්‍රමානවත් සාක්ෂි පැමිණිල්ල  අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති බවයි. ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයට නීතියෙන් බලයක් ලබාදී නැති බවත් නිශ්චිත නඩුකරයක් පෙනෙන්නට නැති අවස්ථාවක සැකකරු මුදා හැරීමේ බලයක් අධිකරණයට පවතින බවත්  ඔහු පවසා සිටියේ ය. රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටියදී එම නිලධාරීන් තමන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දුන් බවත් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් පවසා  සිටි සැකකාර ශර්ලි හේරත් වෛද්‍යවරයා තම පුතා මේ කිසිවක් නොදන්නා බවත් එබැවින් තමා ඔහුගෙන් සමාව අයැ ද සිටින බව ද පැවසී ය. සැකකරුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට අධිකරණයට සෑහීමකට පත්විය හැකි බව මෙහිදී ප්‍රකාශ කළ විනිසුරුවරිය විමර්ශන සඳහා සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය. තවද සැකකරු නඩු කටයුතු අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පැමිණිල්ල ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධව එදිනට සලකා බලන බව ද විනිසුරුවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.