by Staff Writer . 14-02-2022 | 3:03 PM
COLOMBO (NEWS1ST) : පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කරන්නැයි, ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් විය.
පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසිනි.
මෙම පනත නීතියක් ලෙස සම්මත වීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් 2/3 දෙකක ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් එය සම්මත විය යුතු බව පෙත්සමෙන් සඳහන් ය.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි ඇතුළත් ඇතැම් විධිවිධාන සංශෝධනය කිරීම සඳහා වන කරුණු ඇතුළත්කර මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ගැනෙන මූලික කරුණු කෙරෙහි එහිදී අවධානය යොමුකර නොමැති බවට පෙත්සම මගින් චෝදනා කර තිබේ.
මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අවභාවිත කිරීමේ හැකියාව ලැබෙන බව ද ඒ හේතුවෙන් හානිදායක තත්ත්වයන් උද්ගත විය හැකි බව ද පෙත්සමේ වැඩිදුරටත් සඳහන් ය.
එබැවින් එම පනත් කෙටුම්පතේ 2,3,4,6,10,11සහ 12 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.