රන් කරඬු සොරකම ගැන සොයන්න CID කණ්ඩායමක්

කොටවෙහෙර විහාරයේ රන් කරඬු සොරකම ගැන සෙවීමට CID කණ්ඩායමක්

by Staff Writer . 14-02-2022 | 1:58 PM

COLOMBO (NEWS1ST): රඹුක්කන, දැලිවල කොටවෙහෙර රජ මහා විහාරයේ රන් කරඬු සොරකම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් කොළඹින් පිටත් කර යවන ලෙසට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවයි. ඒ අනුව අද සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කරනු ඇති. එහි තිබි සොරකම්කරන ලද රන් කරඬු පහක් සහ පළිඟු කරඬු තුන මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, සොරකම් කරන ලද කෞතුක භාණ්ඩ හැකි ඉක්මනින් සොයා ගැනීමට හැකිවෙතැයි විශ්වාස කරන බවයි. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා තිබේ. ධාතු මන්දිරයේ තිබූ CCTV කැමරාව මාස 03 ක සිට ක්‍රියා විරහිත වී ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය පැවසුවේ විහාරස්ථානයේ ඇති අනෙකුත් CCTV කැමරා ද අක්‍රියවී ඇති බවයි. පෙරේදා පස්වරු 6.15 ට පමණ ධාතු මන්දිරය වසා දමා ඇති අතර ඉන් පසුව ඊයේ අලුයම 5.20 ට පමණ නැවත තේවාවව පැවැත්විම සඳහා ධාතු මන්දිරය විවෘත කරන අවස්ථාවේදි රන් කරඬු පහක් සහ පළිඟු කරඬු තුන සොරකම් කර ඇති බවට අනාවරණ වී තිබේ. මෙම රන් කරඬු හා පළිඟු කරඬු 1956 සහ 2000 වසරේ දැලිවල කොටවෙහෙරේ කරන ලද කැණීම් වලදී සොයා ගන්නා ලද්දකි. 1956 දී සොයාගත් කරඬුව ඉන්දියාවේ සාංචි ස්ථූපයේ ආකෘතියකට අනුව නිර්මාණය කර ඇති අතර, කාල නිර්ණවලදී එය ක්‍රිස්තු පූර්ව 250 ට පමණ අයත් වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දැලිවල කොටවෙහෙර දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ කීර්ති තිස්ස නම් කුමරෙකු විසින් ඉදිකරන ලද බවට ඓතිහාසික ලේඛනවල සඳහන් ය. එම ස්ථානයට මිහිදු මහරහතන් වහන්සේ වැඩම කර ඇති අතර, දකුණු ආසියාවේ සේද රෙදි පිළිබඳ පැරණිතම සාක්ෂි හමුවන්නේ ද මෙම ස්ථානයෙනි.