අමෙරිකාවෙන් රුසියාව⁣ට අනතුරු ඇඟවීමක්

යුක්‍රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට තීරණාත්මක ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවෙයි - අමෙරිකානු ජනපති අනතුරු අඟවයි

by Staff Writer . 13-02-2022 | 8:36 AM

COLOMBO (News 1st) - යුක්‍රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට තීරණාත්මක ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අනතුරු අඟවයි.

ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් සමග පැවති වීඩියෝ ඇමතුමකදීය. යුක්‍රේනය සම්බන්ධයෙන් රුසියාව ගනු ලබන තීරණ පිළිබඳව බටහිර රටවල් අවධානයෙන් සිටින බවත් අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. ඔහු පවසා ඇත්තේ, යුක්‍රේනය ආක්‍රමණය කිරීම වැනි තීරණයක් රුසියාව ගනු ලැබුවහොත් රුසියාව හුදකලා රාජ්‍යයක් බවට පවා පත් වීමට ඉඩ ඇති බව ය. කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති සමග පැවති මෙම වීඩියෝ ඇමතුමේදී රුසියානු ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් නිල වාර්තාවක් නොමැත. මේ අතර රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමග පැවති දුරකතන ඇමතුමකදී චෝදනා කර ඇත්තේ, අමෙරිකාව රුසියාවට එරෙහිව “ප්‍රචාරක ව්‍යාපාරයක්” ගෙන යන බව ය. රුසියානු ආක්‍රමණය ඕනෑම දිනක ඕනෑම මොහොතක ආරම්භ විය හැකි බව අමෙරිකාව දිගින් දිගටම අනතුරු අඟවයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුක්‍රේනයේ සිටින සිය පුරවැසියන්ට හැකි ඉක්මණින් එරටින් පිටව යන ලෙස ද අමෙරිකාව මේ වනවිට දැනුම් දී ඇති බව ය. කෙසේ වෙතත්, දේශ සීමා ආසන්නයේ 100,000 කට අධික භට පිරිසක් රැඳී සිටියද යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු සැලසුමක් නැතැයි, රුසියාව යළිත් තහවුරු කර තිබේ.