අඩු අදායම්ලාභීන්ගේ ආහාර පරිභෝජනය පිළිබඳ වාර්තාවක්

අඩු අදායම්ලාභීන්ගේ ආහාර පරිභෝජනය අඩුවී ඇතැයි, එජා වාර්තාවකින් හෙළිවෙයි

by Staff Writer . 13-02-2022 | 9:24 PM

COLOMBO (NEWS1ST):  ශ්‍රී ලංකාව තුළ ඉහළ යන ආර්ථීක අර්බුදය හේතුවෙන් මෙරට අඩු අදායම් ලාභී පවුල් සිය ආහාර පරිභෝජනය අඩු කර ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.

වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේ ශ්‍රී ලංකාවේ ජීවන වියදම ඉහළ යාම නිසා බොහෝ පවුල් ආහාර පරිභෝජනය අඩු කර ලාභදායී සහ අඩු පෝෂ්‍යදායී ආහාර වෙත මාරු වී ඇති බවයි. එය මෙරට සමස්ත ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව, සෞඛ්යය සහ පෝෂණයට සෘණාත්මක බලපෑමක් ඇති කරන බව ද අදාළ නිවේදනය මගින් අවාධාරණය කර තිබේ. පසුගිය වසරේ ජනවාරි මාසයේදී පැවති සහල් මිල පසුගිය මාසය වන විට 50% කින් ඉහළ යාම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇති එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සඳහන් කරන්නේ ඊට ප්‍රධාන වශයෙන් ඉන්ධන සහ පොහොර හිඟය මෙන්ම රුපියල අවප්‍රමාණය වීම ද බලපා ඇති බවයි.