රජමහා විහාරයක රන් කරඬු හා පලිඟු කරඬු සොරකමක්..

රඹුක්කන, කොටවෙහෙර රජමහා විහාරයේ රන් කරඬු 5ක් සහ පළිඟු කරඬු 3ක් සොරා ගැනේ..

by Staff writer 12-02-2022 | 1:17 PM

COLOMBO (News 1st); රඹුක්කන, දැලිවල, කොටවෙහෙර රජ මහා විහාරයේ තැන්පත් කර තිබූ රන් කරඬු 05ක් සහ පළිඟු කරඬු 03ක් සොරකම් කර තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අනුර මනතුංග මහතා සඳහන් කළේ, ඊයේ (11) රාත්‍රී මෙම කරඬු සොරා ගෙනගොස් ඇති බව ය. මහාචාර්යවරයා තවදුරටත් සඳහන් කළේ , මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර, තම නිලධාරී කණ්ඩායමක් ද සිද්ධිය වූ ස්ථානයට පිටත් කර ඇති බවයි. මෙම රන් කරඬු හා පළිඟු කරඬු 1956 සහ 2000 වසරේ දැලිවල, කොටවෙහෙරේ කරන ලද කැණීම් වලදී සොයා ‌‌ගෙන ඇත. 1956 දී සොයාගත් කරඬුව ඉන්දියාවේ සාංචි ස්තූපයේ ආකෘතියකට අනුව නිර්මාණය කර ඇති අතර, කාල නිර්ණ වලදී එය ක්‍රිස්තු පූර්ව 250 ට පමණ අයත් වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි . දැලිවල, කොටවෙහෙර දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ කීර්ති තිස්ස නම් කුමරෙකු විසින් ඉදිකරන ලද බවට ඓතිහාසික ලේඛනවල සඳහන් වේ. එම ස්ථානයට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කර ඇති අතර, දකුණු ආසියාවේ සේද රෙදි පිළිබඳ පැරණිතම සාක්ෂි හමුවන්නේද මෙම ස්ථානයෙනි. මේ සම්බන්ධයෙන්, නිව්ස්ෆස්ට් කළ විමසීමකදී , ප්‍රදේශය භාර පොලිස් නිලධාරිවර‌යෙකු සඳහන් කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් 2 ක් දැනට ක්‍රියාත්මක බව ය. අපරාධ අංශ නිලධාරීන් සහ පොලිස් නිල සුනඛයින් යොදා දැනටමත් විමර්ශන ක්‍රියාත්මක කරමින් ඇතැයිද, ඔහු පැවසුවේ ය. පොලිස් නිලධාරියා සඳහන් කළේ, අදාළ පුරාවස්තු තැන්පත් කර තිබූ මන්දිරයේ ආරක්ෂිත කැමරා ක්‍රියාවිරහිත වී ඇති බවට තොරතුරු වාර්තා වන බවය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ ඇතුළු 3 කුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.