හිඟ වැටුප්, දීමනා ඉල්ලා වෛද්‍ය සාෆි අධිකරණයට

වෛද්‍ය සාෆි ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

by Staff writer 10-02-2022 | 4:16 PM

 COLOMBO (News 1st);  අසත්‍ය චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ තමන්ට හිමි හිඟ වැටුප් දීමනා ලබා දෙන ලෙස නියෝග කරන්නැයි, ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා ගොනු කළ රිට් පෙත්සම ලබන 17 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (10) තීරණය කළේ ය.

ඒ , නඩුව අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදී ය. පෙත්සම සහ ඊට අදාළ ලියකියවිලි තමන්ට පෙර දිනයේ ලැබුණු බැවින් එය අධ්‍යයනයට යම් කාලයක් අවශ්‍ය බව පෙත්සමෙහි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා සඳහන් කළේ ය. වඳ සැත්කම් කළ බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ තමන්ට අසත්‍ය චෝදනා එල්ල වූ බවත්, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අනිවාර්ය නිවාඩු යවා පසුව නැවත සේවයේ පිහිටවූ බවත් වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා ගොනු කළ පෙත්සමේ වැඩිදුරටත් සඳහන් ය.