by Sagarika Chathumali 07-02-2022 | 10:49 PM
COLOMBO (NEWS1ST): රේගුව භාරයේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, වෙළෙඳපොළේ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාම ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹි බවයි.
මේ අතර ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
මෙම තීරණවලට එළැඹ ඇත්තේ, රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම පිළිබඳව අද (07) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ය.
තව ද එළැඹෙන උත්සව සමයේ දී ජනතාවට හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව අවධාරණය කර ඇති ජනාධිපතිවරයා නිලධාරින්ට දැනුම් දී ඇත්තේ, ඒ සඳහා සැලසුම් සකස් කරන ලෙසයි.
තෝරාගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දෙන ලෙසත් එහිදී කූඨ අරමුණු සහිතව ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ ආනයනය කිරීමට සහ තොග සැඟවීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙස දැනුම් දී ඇති ජනාධිපතිවරයා එය නියාමනය සහ අධීක්ෂණය නව කමිටුවට පැවරූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් මෙන්ම මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.