ආදර්ශමත් වන්නැයි, ජනපති මැති ඇමතීන්ගෙන් ඉල්ලයි

රටට ආදර්ශයක් වන ලෙස කටයුතු කරන්නැයි ජනපති දේශපාලඥයින්ගෙන් ඉල්ලයි

by Sagarika Chathumali 04-02-2022 | 12:16 PM

COLOMBO (NEWS1ST): රටට ආදර්ශයක් වන ලෙස කටයුතු කරන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු මැති ඇමතිවරුන් හා දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටී.

''මා ඉල්ලා සිටිනවා සියලු මැති ඇමතිවරු, අනෙකුත් දේශපාලනඥයින්ගෙන් රටට ආදර්ශයක් වන ලෙස හැම විටම කටයුතු කරන ලෙස, ඔබ ජනතාවට ඒ ආදර්ශය සපයන්නේ නම්, රටේ බහුතරයක් ජනතාව ඔබව අනුගමනය කරාවි''
ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළේ , අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් යන්න තේමා කර ගනිමින් නිදහස් චතුරස්‍රයේදී පැවති 74 වන අභිමානවත් නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතිය අමතමිනි. අනාගත ඉලක්ක සාර්ථකව ඉටු කරගැනීමට සියලු දෙනාට වෙනස් වීමට මෙන්ම කැපවීම් සිදු කිරීමට  සිදු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපතිවරයා ලෙස ඒ සඳහා අවශ්‍ය  ආදර්ශය ලබා දීමට තමන් ද සූදානම් බවයි. දේශීයත්වය අගයන, රටේ සෛවරීත්වය සුරකින, ජාතික නායකත්වයට එරෙහි බලවේග ඉතා සූක්ෂම ලෙස අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා කියා සිටියේ, විචාර බුද්ධියෙන් කටයුතු කර, දත්ත මත පදනම්ව කරුණු විමසා බලා සත්‍ය හඳුනාගෙන තීන්දු තීරණ ගන්නේ නම්, කිසිවෙකුට ජනතාව නොමග යැවිමේ හැකියාවක් නොමැති බවයි. තව ද  දිනූ නිදහස සෑම විටම සුරකින බවටත් ඒකීයබව භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන බවටත් රාජ්‍ය නායකයා ලෙස දී ඇති ප්‍රතිඥාව සැම විටම සුරකින බවට ද ජනාධිපතිවරයා යළි සහතික විය. කිසිදු ආකාරයක මානව හිමිකම් කඩ කිරීමකට රජය අනුබල දී නොමැති බව සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ, කිසිදු හේතුවක් මත යළි අන්තවාදයට හිස ඔසවන්නට ඉඩ නොතබන බවයි.
''රජය ජනතාවට පොරොන්දු වූ ආකාරයට ම අප අද ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. ජනතාව වත්මන් රජයට වරම් ලබා දී තිබෙන්නේ, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවන්නටයි. අප ඉදිරිපත් කළ ප්‍රතිපත්ති රාමුව තුළ හරිත කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති නව ලොවට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසසංස්කරණ දේශීය ව්‍යවසායකත්වය දිරි ගැන්වීම, අපනයන විවිධාංගීකරණය හා අගය වැඩි කිරීම, ආර්ථික නව පිම්මක් සඳහා තාක්ෂණය භාවිතය ප්‍රචලිත කිරීම වැනි අප විසින් හඳුනාගත් ප්‍රමුඛතාවල කිසිදු වෙනසක් නැහැ''
ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනය ගරුක ගුණ ගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක් යන මූලික අරමුණු ඉටු කර ගැනීම සඳහා කැපවී සිටින බව ද ජනාධිපතිවරයා නිදහස් දින උත්සවය අමතමින් වැඩිදුරටත් කියා සිටියේ ය. https://youtu.be/YMXWigS5TBk