ශ්‍රී ලංකා ධීවරයින් ඉන්දීය යාත්‍රා දෙකක් අල්ලා ගනී

ශ්‍රී ලංකා ධීවරයින් උතුරු මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග ධීවර යාත්‍රා දෙකක් අල්ලා ගනී

by Staff Writer . 01-02-2022 | 8:47 AM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු හා යාත්‍රා දෙකක් උතුරේ ධීවරයින් රඳවාගෙන නාවික හමුදාවට භාර කළ පසු කන්කසන්තුරෙයි පොලීසියට භාර දී තිබේ. 

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට ඇතුළු වූ ඉන්දීය ධීරයින් 21 කු යාත්‍රා දෙකක් සමග නාවික හමුදාව කන්කසන්තුරේ පොලීසියට භාර දී තිබේ. ඊයේ රාත්‍රියේ මෙම ඉන්දීය ධීවර යාත්‍රා #SeaOfSriLanka හෙවත් ශ්‍රි ලංකා මුහුදට ඇතුළු වී සිටියදී මෙරට ධීවරයින් විසින් වටකර රඳවා ගැනීමෙන් පසු නාවික හමුදාවට භාර දී තිබේ. ඉන්දීය ධීවරයින් #SeaOfSriLanka හෙවත් ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වී දිගින් දිගටම සිදුකරන නීතිවිරෝධී ක්‍රියා වළක්වන්නැයි බලකරමින් උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයක මේ දිනවල විරෝධතා පැවැත්වේ. ඊයේ රාත්‍රි 11 ට පමණ පේදුරුතුඩුවට නුදුරින් ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා ධීවරයින් විසින් වට කරනු ලැබුවේ, මෙම විරෝධතා පැවැත්වෙන අතරවාරයේයී. අප වාර්තාකරු පැවසුවේ පැයකට අධික කාලයක් ඉන්දීය ධීවරයින් මේ අයුරින් වටකර ගෙන සිට ඇති අතර අනතුරුව නාවික හමුදාව එම ස්ථානයට ළඟා වී ඇති බවයි. අනතුරුව ඉන්දීය ධීවර යාත්‍රා දෙක හා ඉන්දීය ධීවරයින් 21 දෙනා නාවික හමුදා භාරයට ගෙන කන්කසන්තුරේ පොලීසියට භාර දුන් බව නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර යානපය වඩමාරච්චි ප්‍රදේශයෙන් මුහුදුගිය ධීවරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ මරදන්කනී වෙරළේ තිබී සොයාගෙන තිබිණ. උතුරේ ධීවරයින් චෝදනා කරන්නේ මෙම ශ්‍රී ලංකික ධීවරයින් දෙදෙනාගේ මරණයට ඉන්දීය ධීරයින්ගේ ක්‍රියාකාරකම් හේතුවන්නට ඇති බවයි. අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාවලට මැදිහත්වීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා උත්සහ කළ ද ඔහුට ද ධීවරයින්ගේ විරෝධය එල්ල විය.