by Staff Writer . 01-02-2022 | 10:14 AM
COLOMBO (News 1st) – දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් වැයකර 2015 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ලිත් බෙදාහැරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන්, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරිණ.
ඒ, විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවයි.
නඩුවේ චෝදනා ඔප්පු කිරීමට නොව එම චෝදනා බැහැර කිරීමට පැමිණිල්ලේ සාක්ෂි ඉවහල් වී ඇතැයි සිය තීන්දුව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ප්‍රකාශ කළේ ය.
ලිත් මුද්‍රණය සඳහා දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් වැය කළ මුදල් නීතියනුකූල කාර්යයක් සඳහා නීතියනුකූල ලෙස වැය කර ඇතැයි ද විනිසුරුවරයා සිය තීන්දුවෙන් වැඩිදුරටත් කියා සිටියේ ය.
විනිසුරුවරයා දැනුම් දුන්නේ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ පස්වෙනි චෝදනාව කිසිදු අර්ථයක් නොමැති චෝදනාවක් බවයි.
ඒ අනුව එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ කිත්සිරි රණවක යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කෙරිණ.
විත්තිකරුවන්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය.
නීතිපතිවරයා එම නඩුව පවරා තිබුණේ 2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක් වැයකර ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් දිවිනැගුම ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කර බෙදා හැරීම ඇතුළු අධිචෝදනා යටතේයි.