by Staff Writer . 30-01-2022 | 9:39 PM
COLOMBO (News 1st) - ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයෙක් සිය දරුවන් ඝාතනය කර සිය දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් කණගාටුව පළ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිද්ධිය පිළිබඳව මේ වනවිටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව ය.
ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර වාසය කළ ඉන්දික ගුණතිලක නම් පුද්ගලයා සිය දරුවන් දෙදෙනත් සමග ඔහුගේ නිවස තුළ මිය ගොස් සිටියේ ය.
එරට පොලීසිය සඳහන් කරන්නේ, මේ ඝාතනයන් සම්බන්ධයෙන් බාහිර පාර්ශවයක මැදිහත්වීමක් ඇති බවට සාක්ෂි ලැබී නොමැති බවය.
තමා දැඩි මානසික ව්‍යාකූලත්වයකින් හා විශාදයෙන් පෙලෙන බව ඉන්දික ගුණතිලක මීට දින කිහිපයකට පෙර සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළ කරමින් ප්‍රකාශ කර තිබුණි.
කෙසේ නමුත්, මෙම සිද්ධියෙන් ඉන්දික ගුණතිලකට මෙන්ම, සිව් හැවිරිදි දියණියට සහ 6 හැවිරිදි පුතනුවන්ටත් ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවිය.
මෙවෙනි සිදුවීම් හෙට සිදු නොවීමට කායික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් වීම වැදගත් වේ.
මොකක්ද මේ විශාදය ?
ශ්‍රී ලංකා ළමා හා යොවුන් මනස පිළිබද විශේෂඥ වෛද්‍ය සංගමයේ ලේකම්
විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා,
''විශාදය ගත්තම ඒකේ මූලිකම ලක්ෂණය තමයි දිගු කාලීනව ඇතිවන කනස්සල්ල හා හිතේ ඇතිවන එපා වීම.ඊළඟට දැඩි වෙහෙසක් ඇති වීම. ඒවගේම වෙනදා බොහොම සතුටින් කරපු දේවල් කිසි කැමත්තක් ආශාවක් නැති වීම. මීට අමතරව විශාදය නිසා නින්ද අඩුවීම හෝ වැඩි වීම. කෑම රුචිය අඩු වීම හෝ වැඩි වීම"
විශාද තත්ත්වයක් ඇති බව දැනුණොත්, නැත්නම් තිබෙන බවට සැක හිතුණොත් කුමක් කළ යුතු ද?
ශ්‍රී ලංකා ළමා හා යොවුන් මනස පිළිබද විශේෂඥ වෛද්‍ය සංගමයේ ලේකම්
විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා,
''පළවෙනියෙන්ම ඔබේ ළඟම සිටින පවුලේ වෛද්‍යවරයාට ඇවිල්ලා කතා කරන්න. මේ සඳහා ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තියෙනවා. එක ප්‍රතිකාර ක්‍රමයක් තමයි මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රමය. අපි කියනවා සියිකෝ තෙරපි කියලා. සමහර විට විශාදය මධ්‍යම හෝ උග්‍ර වශයෙන් තියනවනම් ඖෂධීය ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. ඒ ප්‍රතිකාර වලිනුත් තමන්ට සහනයක් ලැබෙන්නේ නැති වුණොත් එහෙම මනෝ වෛද්‍ය වාට්ටුවකින් ඒ සදහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුලුවන් ඇතුළත් වීම මගින්. ගොඩක් වෙලාවට විශාදය තියෙනකොට ප්‍රතිකාර ගන්න ගොඩක් අය මැලි වෙනවා. ඒකට පළවෙනි හේතුව තමයි තමන්ට විශාදය තියනවා කියලා අදුර ගන්නේ නැති එක. ඒකට හේතුව මටනම් මානසික රෝගයක් හැදෙන්නේ නැහැ කියන මිත්‍යා මතය පැවතීම"