දරු දෙදෙනාත් ඝාතනය කර සියදිවි නසාගත්

දරු දෙදෙනාත් ඝාතනය කර ඔස්ට්‍රේලියාවේදී සියදිවි නසාගත් ලාංකික පියෙක්

by Staff writer 30-01-2022 | 12:28 AM
තම දරුවන් දෙදෙනා ඝාතනය කර සිය දිවි නසාගත් ශ්‍රී ලාංකික පියෙකු ගැන ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ 40 හැවිරිදි වියේ පසුවූ ඉන්දික ගුණතිලක නම් මොහු තම නිවසේ ගරාජය තුළ දරු දෙදෙනාද සමගින් මරුමුවට පත්ව සිටි බවයි. ඔස්ටේලියාවේ පර්ත් නුවර හන්ටින්ඩේල් හී නිවසේ දී මෙලෙස මරණයට පත් ව ඇත්තේ, සිව් හැවිරිදි වියේ පසුවූ දියණිය හා 6 වැනි වියේ පසුවූ පුතනුවන්.. මීට වෙනත් පුද්ගලයෙකු සම්බන්ධ වී ඇති බවට සාක්ෂි ලැබී නැති බව පොලීසිය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය හරහා මිනිත්තු 18 ක වීඩියෝවක් නිකුත් කරමින්, ඔහු ඒ් වනවිට පසුවන මානසික ව්‍යාකූලතාවය සම්බන්ධයෙන් පැහැදිලි කර ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඔහුගේ මානසික ව්‍යාකූලත්වය දැක්වෙන ෆේස්බුක් ප්‍රකාශන රැසක් විදෙස් මාධ්‍ය උපුටා දක්වා තිබේ. ඔහු දින කිහිපයකට පෙර දරුවන් දෙදෙනා සමගින් ඡායාරූපයක් පළ කර ඇති අතර, ඒය ඔහු පළ කළ අවසන් ඡායාරූපයද වේ. ඔස්ට්‍රේලියානු පොලීසිය පවසන්නේ, මෙම සිදුවීම සැලකෙන්නේ, දෙදෙනෙකු ඝාතනය කොට කරගත් සියදිවි නසා ගැනීමක් ලෙසයි. මෙම සිදුවීම කන වැකීමත් සමගින් අවට පිරිස් ඒම දරු දෙදෙනා වෙනුවෙන් නිවස ඉදිරිපිට මල් හා බෝනික්කන් තබමින් ශෝකය පළ කර තිබීම ද විශේෂත්වයක්.