පාවෙන විදුලි බලාගාරයත් නතර වෙයි ද?

කොළඹ වරායේ පාවෙන විදුලි බලාගාරය මඟ නතර වෙයි ද?

by Staff Writer . 30-01-2022 | 6:13 PM

COLOMBO (News 1st) - කොළඹ වරායේ පාවෙන විදුලි බලාගාරය අඛණ්ඩව විදුලිය උත්පාදනය කළහොත් ඊට අවශ්‍ය දැවි තෙල් අද (30) දිනයටවත් ප්‍රමාණවත් නොවන බව විදුලිබල මණ්ඩලය පවසයි.

එහි අතිරේක සාමාන්‍යාධිකාරි මාධ්‍ය ප්‍රකාශක, ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ, සපුගස්කන්ද විදුලි බලාගාරයත් අඛණ්ඩව විදුලිය උත්පාදනය කළහොත් ඒ සඳහා ද දැවි තෙල් ප්‍රමාණවත් වන්නේ අද (30) දිනයට පමණක් බව ය. කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ඉන්ධන ප්‍රමාණවත් වන්නේ ද අද (30) දිනයට පමණි. කෙසේ වෙතත් කැලණිතිස්ස බලාගාරයේ ඉන්ධන තවත් දින 4 කට ප්‍රමාණවත් බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. සපුගස්කන්ද එක් විදුලි බලාගාරයක් දැවි තෙල් නොමැතිවීමෙන් මේ වනවිට අක්‍රිය කර තිබේ. ඛනිජ තෙල් සංස්ථාවෙන් මේ වනවිට දෛනික ඉන්ධන තොග ලැබෙන අතර හෙට දිනයේ ද අවශ්‍ය ඉන්ධන තොග ලැබෙනු විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරන බව ඇන්ඩෲ නවමුනි සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, පානීය ජලයට සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය වෙන් කර මහවැලි හා වරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවලින් උපරිමයෙන් ජල විදුලි බලය උත්පාදනය කිරීම මේ දිනවල කටයුතු සිදුකරමින් සිටින බව ය. මේ අතර පවතින වැසි රහිත කාලගුණය ලබන අප්‍රේල් මාසය දක්වා අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ , ලබන මාර්තු මාසය වන විට දිවයින පුරා දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් ද පැවතිය හැකි බවයි.