සතොස සේවක නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්

අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් ඇමති ජොන්ස්ටන් නිදහස්

by Staff Writer . 28-01-2022 | 11:21 AM

COLOMBO (News 1st) – අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නඩු පැවරීමේ දී නිසි ක්‍රියා පටිපාටි අනුගමනය නොකිරීම හේතුවෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද නියෝග කළේ ය.

සතොස සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර වෙනත් කටයුතුවලට යොදා ගැනීමේ චෝදනා මත හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා තිබූ නඩු 3කින් එසේ ඔවුන් අද නිදහස් කෙරිණ. නඩු පැවරීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාගේම නිසි අනුමැතියකින් තොරව නඩු පවරා තිබීම හේතුවෙන් සැකකරුවන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ ය. අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද අධිකරණයෙන් ඉල්ලා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 186 වන වගන්තිය ප්‍රකාරව නැවත නඩුවක් ගොනු කිරීමේ අයිතියට යටත්ව සැකකරුවන් නිදහස් කරන ලෙසයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමසම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු 05 ක් පවරා තිබූ අතර අමාත්‍යවරයා මහාධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ඉන් නඩු දෙකකින් ඔහු නිදහස් විය. ඒ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ නිසි අනුමැතියකින් තොරව එම නඩු පවරා තිබීම හේතුවෙනි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ නිසි අනුමැතියකින් තොරව පවරා ඇති නඩු 53 කට ආසන්න සංඛ්‍යාවක සැකකරුවන් මේ වන විටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කර තිබේ.