by Staff Writer . 28-01-2022 | 8:36 PM
COLOMBO (News 1st): දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බල රහිත කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන මාර්තු 30 කැඳවීමට අභියාචනාධිකරණය අද (28) තීරණය කළේ ය.
පෙත්සම කැඳවනු ලැබුවේ නිශ්ශංක බන්දුල කරුණාරත්න, එම්.ටී.එම්. ලෆාර් තාහිර්, ඩී.එම්. සමරකෝන් යන අභියාචනාධිකරණය විනිසුරු මඬුල්ල හමුවේ ය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා, ඇතුළු එම සාමාජිකයින්, කොමිසමේ ලේකම්වරයා හා ජනාධිපති ලේකම්වරයා නම් කර තිබේ.
කොමිසමට කැඳවූ අවස්ථාවේදී තමන්ට චෝදනා පත්‍රයක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ බව සඳහන් කර ඇති පෙත්සම්කරු දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ වාර්තාවෙහි තමන්ට එරෙහිව සොයාගැනීම් සහ නිර්දේශ සදහන් කර ඇති බවට පෙන්වා දෙයි.
එම කොමිසම විමර්ශනය කළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි ද තමන්ට පැවරී ඇති බලතල ඉක්මවා ඔවුන් ක්‍රියාකර ඇතැයි ද පෙත්සමෙහි වැඩිදුරටත් සඳහන් කරන පෙත්සම්කරු, එම කොමිසමේ නිර්දේශ සහ සොයාගැනීම් බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ද ඉල්ලා තිබේ.