COLOMBO (News 1st): කොළඹ ජාතික රෝහල, ජාතික බෝවන රෝග විද්‍යායතනය, කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු මෙරට ප්‍රධාන රෝහල් කිහිපයකම කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී. විජේසුරිය මහතා පැවසුවේ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටින කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාවේද යම් වැඩිවීමක් දක්නට ලැබෙන බවය.
මේ අතර මෙරට තුළ කොවිඩ් එන්නත්කරණ කටයුතු ආරම්භ කර අදට වසරක් සපිරෙයි.
අද වනවිට කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල්වල තත්ත්වය කුමක්ද?
කොළඹ ජාතික රෝහලේ වාට්ටු 5 ක මේ වනවිට කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර ලබයි.
එම රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, දෛනික රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවය.
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඇඳන් ධාරිතාවද මේ වනවිට උපරිමයට ලක්වෙමින් ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා අප කළ විමසීමේදී කියා සිටියේ ය.
ඉකුත් දින කිහිපයේ කොවිඩ් ආසාදිතයින් 30 පමණ ප්‍රතිකාර ලැබූ කරාපිටිය ශික්ෂණ රෝහලේ අද වනවිට කොරෝනා ආසාදිතයින් 60 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමන් සිටී.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී. විජේසුරිය මහතා පැවසුවේ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වනවිට කොවිඩ් ආසාදිත දරුවන් 40-50 ත් පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
රෝහල් කාර්ය මණ්ඩලවල තත්ත්වය
පරපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ්
පහුගිය ජනවාරි මාසයේ ඉදන් කොවිඩ් විසුරුවා හැරියා ආණ්ඩුව විසින්. කොවිඩ් විසුරුවා හැරලා කාර්ය සාධක බලකාය විසුරුවා හැරලා පළවෙනි චක්‍රලේඛය ගැහුවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සියලු දෙනා සේවයට කැදවන්න කියලා. අද ඒකේ ප්‍රතිඵල අපි භූක්ති විදලා තියෙනවා. ඒක නිසා එක පැත්තකින් ධාරිතාව උපරිම සීමාවට ළඟාවෙලා තියෙන අතර අද රෝහල් ගණනාවක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බරපතල විදියට කොවඩ් ආසාදනයට ලක්වෙලා තියෙනවා.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා
ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය විතරක් 75 දෙනෙකුට කෝවිඩ් 19 වැළඳිලා තියෙනවා. මාලිගාවත්ත රෝහලේ දවස් 2 කට 24 දෙනෙකුට කොරෝනා හැදුණා. ඊළඟට රත්නපුර රෝහලේ 28 දෙනෙක් වාර්තා වනවා. මහනුවර රෝහලේ හෙද නිලධාරීන් 11 ක් , නුවර හෙද විදුහලේ හෙද සිසුන් 26 කට එක දවසේ වැළැදුණා. තෙල්දෙණිය රෝහලේ 16 ක්, රාගම ශික්ෂණ රෝහලේ 26 ක්. කලුබෝවිල රෝහලේ 30 ක්. මාතලේ රෝහලේ 86 දෙනෙකුට ආසාදනය වෙලා තියෙනවා. දැන් ලංකාවේ රෝහල් 600 ක් තියෙනවා. මේ රෝහල් 600 ම පරීක්ෂණ හරි විදියට කරොත් කොයි තරම් හෙද නිලධාරීන් ප්‍රමාණයකට කෝවිඩ් ආසාදනය වෙලා තියෙනවාද කියන කාරණය හිතාගන්න පුළුවන්.
කොවිඩ් එන්නත්කරණ කටයුතු ආරම්භ කර අදට වසරක් සපිරෙයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පවසන්නේ මෙරට ජනතාව බුස්ටර් මාත්‍රාව ලබා ගැනීම අවම මට්ටමක පවතින බවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා
ශ්‍රී ලංකාවේ මේ වනවිට කෝවිඩ් රෝගීන් වැඩිපුරම වාර්තා වන්නේ නවතම ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා බව තමා පරීක්ෂණ වාර්තාවලින් පෙනෙන්නේ. ඒ වුණත් මින් පෙර ඩෙල්ටා ප්‍රභේදය රෝගය සැදුණු රෝගීන් තවදුරටත් රෝහල්වලට පැමිණෙන බව පෙනෙන්නට තිබෙනවා . විශේෂයෙන්ම පෙනෙන දෙයක් තමයි මේ වැඩි වශයෙන් රෝහල්ගත වීමට ඔක්සිජන් ලබා දීමටත් සිදුවන රෝගීන්ගේ එන්නත්කරණ ඉතිහාසය සොයා බැලීමේදී ඔවුන් එන්නත් ගෙන නොමැති බවක් පෙනෙන්ට තිබෙනවා. බූස්ටර් මාත්‍රාව ලබා නොගත් අය තමාමේ සම්පුර්ණයෙන්ම මේ වනවිට ඔක්සිජන් අවශ්‍යතාව සහිතව ICU තත්ත්වයට පැමිණිලා තියෙන්නේ.
මේ අතර මංගල උත්සව ඇතුළු සාද අවස්ථාවන්ට සහභාගීවන්නන් කොවිඩ් පාලන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් වඩාත් අවදානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා
අපි නිතරම කියන දෙයක් තමා මංගල උත්සවවලදී අපිට ඒක මංගල උත්සව සඳහා අවසර දීම සමහර කෙනෙක් අර්ථකථනය කරගන්නවා නිදහසේ හැසිරීමට අවසර දීමක් කියලා. මඟුල් ගෙදරට ඇතුළු වෙන වෙලාවේ ඉදලා සමහර විට මුව ආවරණය ගලවලා පාවිච්චි කරන්නේම නැහැ. ඒවාගේම තමයි අනෙකුත් සෞඛ්‍ය පුරුදුවලින් ආරක්ෂා වීම හුගාක් වෙලාවට අපි දකින්නෙ නෑ. මේක තමා අපි වැළැක්විය යුතු දේ.