by Staff Writer . 28-01-2022 | 9:32 PM
COLOMBO (News 1st): ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන කිහිපයක් රජය මේ වනවිට යෝජනා කර තිබේ.
ඊට අදාළව සකස් කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබේ.
මෙම ගැසට් පත්‍රය නිකුත් වන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල කිරීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
යෝජිත සංශෝධනවලට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ භාරයට ගන්නා සැකකරුවෙකුට මානව හිමිකම් උල්ලංඝණය කිරීමට අදාළ විධිවිධාන යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලීමක් ගොනු කිරීමට හැකියාව හිමි වෙයි.
නීතීඥවරයෙකුට රිමාන්ඩ් භාරයේ හෝ රැඳවුම් භාරයේ සිටින එවැනි තැනැත්තෙකු වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ එම තැනැත්තාට ඥාතීන් සමග සන්නිවේදනය කිරීමේ හැකියාව ද, ලබාදෙන වගන්ති ඊට ඇතුළත් ය.
රැඳවුම් නියෝගයක් යටතේ යම් තැනැත්තෙකු රඳවා තබා ගන්නා කාල සීමාව මාස 18 සිට මාස 12 දක්වා අඩු කිරීමට ද යෝජිතයි.
මෙම සංශෝධන මගින් රැඳවුම් ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත්වරයාට සැකකරුගේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමටද ඉඩ කඩ හිමි වෙයි.
යෝජිත සංශෝධනවලට අනුව සැකකරු වද දීමට ලක්ව නොමැති බව තහවුරු කිරීම සඳහා එම තැනැත්තා අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමටද හැකි ය.
නඩු කටයුතු අප්‍රමාදව අවසන් කිරීමට කටයුතු කිරීමට දිනපතා නඩු විභාග පැවැත්වීමේ විධිවිධානද ඊට ඇතුළත් වේ.