මහ මුහුදේදී ඇල්ලූ හෙරොයින් කොළඹ වරායට

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය හා පුද්ගලයින් 11 දෙනා කොළඹ වරායට ..

by Staff writer 25-01-2022 | 5:52 PM

COLOMBO (News 1st) –  මෙරටට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය හා පුද්ගලයින් 11 දෙනෙකු අද(25) කොළඹ වරායට රැගෙන විත් තිබේ.

නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, හෙරොයින් ක්‍රිලෝගෑම් 343 යි ගෑම් 456ක් බහුදින යාත්‍රාවේ තිබී සොයා ගත් බවයි. එම හෙරොයින් තොගය සහ බහුදින යාත්‍රා 02 හි සිටි සැකකරුවන් 11 දෙනාද අද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දුන්නේ ය. නාවික හමුදාව සඳහන් කළේ, ඊට අමතරව මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ගොඩබිම් ජාලයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු ද, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදු කළ වැටලීමකදී එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබේ. එක් බහුදින යාත්‍රාවක් සැකකරුවන් 06 දෙනෙකු සමග අත්අඩංගුවට ගත් අතර එම යාත්‍රාවේ තිබූ හෙරෝයින් තොගය මුහුදේදී ලබාගැනීමට පැමිණි බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් 05 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත්තේ ය. අත්අඩංගුවට ගත් හෙ‌රොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 3300 කට අධික ය.