පූර්ණ එන්නත්කරණයට මාත්‍රා 3ම ලබාගත යුතුයි

පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා 3ම ලබාගත යුතුයි.. - කෙහෙළිය රඹුක්වැල්ල

by Staff writer 24-01-2022 | 6:40 PM

COLOMBO (News 1st) – පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී ය. ඒ අනුව මේ වනවිට එන්නත් දෙකක් ලබාගෙන තිබෙන පිරිස් පූර්ණ එන්නත්කරණය වෙනුවෙන් බූස්ටර් එන්නත ද ලබා ගතයුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කර ජනවාරි 29 වැනි දිනට වසරක් සපිරෙන අතර එයට සමගාමීව දිවයිනේ සියලු රෝහල් , ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන්හි විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ යටතේ බූස්ටර් එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සැලසුම් කෙරෙන අතර, මෙමගින් දිවයින පුරා ජනගහනයෙන් සෑම ඉලක්කගත පිරිසකටම එන්නත් මාත්‍රා තුනම ලබාදීමට පියවර ගෙන තිබේ. මේ අතර, පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ඉතා කඩිනමින් ක්‍රියාවට නංවන බවත්, ඒ සඳහා වන නීතිමය අධ්‍යයන කටයුතු අවසන්ව ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය. එමෙන්ම කේත අංකය හා යෙදුම සැකසීම ඩිජිටල් තාක්ෂණික අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කෙරෙන බවත්, එම කටයුතු අවසන් වූ වහාම හැකි ඉක්මනින් එන්නත්කරණ කාඩ්පත පොදු ස්ථාන වලට ඇතුල් වීමේදී අනිවාර්ය කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේ, වසරක් තුළ එන්නත්කරණය වඩාත් සාර්ථක වූ ලොව පළමු රටවල් පහ අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇති බවත්, එය තවදුරටත් ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගෙනයාම සඳහා බූස්ටර් එන්නත ලබාගැනීම ජනතාවගේ වගකීම වන බවය. මේ අතර, තුන්වන ලොක්ඩවුන් කිරීමක් සඳහා කිසිදු සූදානමක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.