''ජාත්‍යන්තරයට යනවා ඇරෙන්න කිසි විසඳුමක් නෑ ''

''ජාත්‍යන්තරයට යනවා ඇරෙන්න කිසි විසඳුමක් නෑ '' - කාදිනල් හිමිපාණන්

by Staff Writer . 24-01-2022 | 4:10 PM

COLOMBO (News 1st) –  අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙනත් විසඳුමක් නැතැයි, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

කාදිනල් හිමිපාණන් පවසන්නේ, දේශීය වශයෙන්ම කිසිවක් සිදු නොවීම සහ නීති පද්ධතියම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව සලකා නොබලන වටපිටාවක් තුළ ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙනත් විසඳුමක් නොමැති බවයි.
''අපි පුළුවන්තරම් උත්සාහා කළා. අපේ රට තුළ මේ ප්‍රශ්නය විසඳලා අපේ ජනතාවට යුක්තිය ඉටු කරන්න. හැබැයි ඒවා අසාර්ථක වෙලා තියෙනවා. ඒක නිසා අපිට ජාත්‍යන්තරයට හා එක්සත් ජාතීන්ගේ සංවිදානයට යනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ. අපි මේ ගැන සකලා බලනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නෙවෙයි අපිත් සමඟ සම්බන්ධතා  තියෙන බලවත් රටවල්වලටත් යනවා. අපි ඒ රටවල්වට බලපෑම් කරනවා කතෝලික පල්ලිය ඇවිල්ලා ජාත්‍යන්තර සංවිධානයක්. අපිට ලෝකේ පුරා සම්බන්දතා තියෙනවා. අගරදගුරු කෙනෙක් හැටියට මට තවත් සහෝදර අගරදගුරුවරු ඉන්නවා බලවත් රටවල්වල ඒ නිසා අපිට ඒක කරන්න පුළුවන්. අපි බලාපොරොත්තුවක් තිබ්බා මේකට දේශීය වශයෙන් පිළිතුරක් හොයාගන්න නමුත් ඒක කෙරුනේ නැහැ. අපිට පේනවා දේශිය වශයෙන්ම මේක කිසිවක් වෙන්නේ නෑ.  නීතිපතිවරයා යටතේ ක්‍රියාත්මකවන නීති පද්ධතියම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව සලකා බලන්නේ නැහැ. ඒක නිසා අපිට ජාත්‍යන්තරයට යනවා ඇරෙන්න කිසි විසඳුමක් නෑ''
කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව පැවසුවේ, අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම පිණිස සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය සාකච්ජාවක් අමතමිනි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ ජාත්‍යන්තර සමුළුව විසින් මේ සාකච්ජාව සංවිධානය කරනු ලැබ තිබිණ. මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී තුසිත සෝලංගආරච්චි පියතුමා සහ කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අදහස් පළ කළහ.