පැන්ඩෝරා විමර්ශනය:ඉදිරියේදී රන්ජන්ගෙන් ප්‍රකාශයක්

පැන්ඩෝරා විමර්ශනය: රන්ජන්ගෙන් ප්‍රකාශයක් ගැනීමේ තීරණයක් ..

by Staff writer 23-01-2022 | 2:53 PM

COLOMBO (News 1st) – පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳ ක්‍රියාත්මක විමර්ශනය පිළිබඳව දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසම තීරණය කර තිබේ.

කොමිසම පැවසුවේ ඔහු විසින් කොමිසමෙන් කළ ඉල්ලිමකට අනුව එම ප්‍රකාශ ලබා ගන්නා බවයි. එය දිවුරුම් ප්‍රකාශයක් ලෙස සිය නීතිඥවරයාගේ මාර්ගයෙන් ලබා දෙන්නැයි රන්ජන් රාමනායක මහතා වෙත දැනුම් දුන් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයක් පැවසුවේ ය. ඔහු පැවසුවේ රන්ජන් රාමනායක මහතා ලබා දෙන දිවුරුම් ප්‍රකාශය අනුව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව යි. මේ වනවිට විමර්ශනයට අදාළව නිරුපමා රාජපක්ෂ මහත්මියගෙන් සහ තිරුකුමාර් නඩේසන් මහතාගෙන් පමණක් ප්‍රකාශ ලබා ගෙන ඇති බව කොමිසම පැවසී ය. පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශන සඳහා දේශීය වාණිජ හා රාජ්‍ය බැංකු , දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මේ වනවිට ලේඛන කැඳවා තිබේ. ලෝක නායකයන්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය, ගනුදෙනු, මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ මූල්‍ය ලේඛන මිලියන 12 කට ආසන්න ප්‍රමාණයක් පැන්ඩොරා පත්‍රිකා මගින් පසුගියදා අනාවරණය කළේ ය.