ඔම්ක්‍රොන්හි අනු ප්‍රභේද 2 ක් රට තුළ ව්‍යාප්ත වෙයි

ඔම්ක්‍රොන්හි අනු ප්‍රභේද 2 ක් රට තුළ ව්‍යාප්ත වෙයි..

by Staff writer 23-01-2022 | 8:05 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ පැතිර යන ප්‍රධාන කොරෝනා ප්‍රභේදය බවට ඔමික්‍රොන් පත්ව තිබේ .

අප කළ විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනය ප්‍රකාශකලේ ඔම්ක්‍රොන් ප්‍රභේදයේ අනු ප්‍රභේද 2 ක් රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවය. ප්‍රභේද පරීක්ෂාවට ලක් කළ සාම්පල 78 කින් 75 ක් ඔමික්‍රෝන් ප්‍රභේදය බවට හඳුනා ගැනීමත් සමග මෙම තත්ත්වය තහවුරු වී තිබේ. එය සිදු කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයයි. ප්‍රභේද පරීක්ෂාවට ලක්කළ කොරෝනා ආසාදිතයින්ගෙන් ලබාගත් සාම්පල 78 න් මෙරට පැතිර ගොස් තිබූ ඩෙල්ටා ප්‍රභේදයට හඳුනා ගැනුණේ තිදෙනෙකුගෙන් පමණක් බව එම විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ ය. මේ සඳහා සාම්පල ලබාගෙන ඇත්තේ මෙම මස මුල් සති තුන ඇතුළතදී ය. කොළඹ, අවිස්සාවේල්ල බොරලැස්ගමුව, හෝමාගම, කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, පරකඩුව, වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින් වාර්තා වී ඇත්තේ ඔම්ක්‍රොන් බී.ඒ 1 යන අනු ප්‍රභේදයයි. අවිස්සාවේල්ල, බදුල්ල,කොළඹ, ගාල්ල, කොලොන්නාව , ගල්කිස්ස,නුගේගොඩ යන ප්‍රදේශවලින් ඔම්ක්‍රොන් බී.ඒ 2 යන අනු ප්‍රභේදය හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනය ප්‍රකාශ කළේ ය.