දූරදර්ශී තීරණවල ප්‍රතිඵල යථාර්ථයක් වෙලා.. - බෞද්ධ උපදේශක සභාව ජනපතිට කියයි

by Staff Writer . 22-01-2022 | 9:37 PM

COLOMBO (NEWS1ST):  සැලසුම් සහගතව හා දූරදර්ශීව ගත් තීරණවල ප්‍රතිඵල යථාර්ථයක් බවට පත්ව ඇති බව බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය අවධාරණය කර සිටී.

ඒ , බෞද්ධ උපදේශක සභාව ඊයේ (21)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී ය. බෞද්ධ උපදේශක සභාව ඊයේ රැස්වුණේ 12 වැනි වරටයි. මෙහිදී අදහස් පළ කරමින් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පැවසුවේ, නිදහසින් පසු බලයට පත් නායකයින් අතරින් යුද්ධය පැවති කාලසීමාවටත් වඩා අතිශය බැරෑරුම් වූ තත්ත්වයකට මුහුණ දුන් රාජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි.
''මේ covid වසංගතයක් එක්ක රටේ ඇතිවෙලා තියෙන වර්තමාන තත්ත්වය දිහා බලනකොට. රටේ ජනතාවගේ දෛනික ප්‍රශ්න ගැටලුවලට. ඔබතුමා ඉතාම සාධනීය විසඳුම් ලබා දෙමින්. මේ කටයුතු කිරීම සම්බන්ධව පළමුවෙන්ම අපේ ප්‍රසාදය ආශිර්වාදය පළකරන්න කැමතියි . අද විශේෂයෙන් තවත් එක කාරණයකට ඔබතුමන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. වෙනදා අපි මහනුවර ඉඳලා කොළඹට එනකොට පැය පහක පමණ කාලයක් ගත කරනවා. අද අපි අධිවේගී මාර්ගයෙන් පැමිණිය ජනාධිපතිතුමා ඉතාම පහසුවෙන්''
මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ රාහුල හිමියන් ප්‍රකාශ කර සිටියේ, ඉදිරි අවුරුදු තුනේ කිනම් අභියෝග පැමිණිය ද ඉදිරියට යෑම සඳහා ජනාධිපතිවරයාට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවයි.
''දේශපාලනික වශයෙන් හැඟීමකින් නොවෙයි අපි මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ. ඉදිරි අවුරුදු තුන මොන අභියෝග ආවත්. මොන ගැටලු ආවත් ආවත් ඉදිරියට යෑම සඳහා මහා සංඝරත්නය හැටියට අපි ඔබතුමන්ට අපි අපගේ සම්පූර්ණ සහය ආශිර්වාදය පළ කරනවා''
සියම් මහා මහානිකායේ මල්වතු පාර්ශයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි ජනාධිපතිවරයා ශාසනය වෙනුවෙන් ඉටු කරන මෙහෙවර අගය කරමින් මෙලෙස අදහස් පළ කළහ.
''බෞද්ධ සිද්ධස්ථාන නගාසිටුවීම , වගේම අනිකුත් අනෙකුත් සිද්ධස්ථානවලට සලකමින් මේ කටයුතු ඔබතුමන් සිද්ධ කරනවා . ඒක අපි අගය කොට සළකනවා''
මේ අතර පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් සිහිපත් කර සිටියේ, රටක පැවතිය යුත්තේ, එක නීතියක් පමණක් බවයි.
''අපේ රටේ එක එක නීති ක්‍රියාත්මක කරන්න බැහැ. මුස්ලිම් අයට එක නීතියක් , දෙමළ අයට තව නීතියක්, සිංහල අයට තව නීතියක් නැතුව පොදු නීතියක් එන්න ඕන කියන එක විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමනි මම මතක් කරන්නට ඕන එහෙම  වෙන්න ඕනේ කියන එක''
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ මෙලෙස අදහස් පළ කළහ.
''කූරගල පූජා භූමියට ගිහිල්ලා ලේකම්වරයා හැටියට ආරක්ෂක අමාත්‍යාංශය ඒ ගත්ත පියවර නිසා ඔබතුමා සීයකට අධික පිරිසක් සිවිල් ආරක්ෂකයන් බඳවා ගෙන ඒ ප්‍රදේශය තිබ්බ ඒ මං මාවත් දියුණු කරලා. සිවිල් ආරක්ෂකයන් යොදවා ගෙන විශාල වැඩ කොටසක් කළා . යහපාලන රජය මගින් සාමයික අන්තර් ආගමික මධ්‍යස්ථානයක් බවට පත් කරන්න ඕනෙයි කියල රනිල් වික්‍රමසිංහ ගරු අග්‍රාමාත්‍යතුමා යෝජනාවක් ගෙනැල්ලා ඒ කටයුතු සිද්ධ කරන්න කටයුතු කරගෙන ගියා . වර්තමානයේ ඔබතුමා බලයට පත්වුණාට පස්සේ. ශ්‍රී ලංකාවේ සිද්ධ කෙරෙන දැවැන්තම ආගමික සිද්ධස්ථානයක් හැටියට ඒ කටයුතු ගොඩනඟා ගෙන යනවා. මුහුදු මහා විහාරයේ ඒ සිද්ධස්ථානය ආරක්ෂා කරන්නට ඒ ඉඩම් මැනීම් කරලා. ඒ අවශ්‍ය කටයුතු සියල්ලම සිද්ධ කරගෙන යනවා. නැගෙනහිර උරුම කළමනාකරණ බලකාය මගින් මේ කාල සීමාව තුළ ඔබතුමාගෙන් විශාල කාර්යභාරයක් සිද්ධවෙලා තිබෙනවා''
සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ ද මෙලෙස අදහස් පළ කළහ.
''මිනිස්සු ජනාධිපතිතුමාටත් බනිනවා. කතා කරන අපිටත් බනිනවා. හැබැයි මිනිසුන්ට බනින්න හරි මිනිස්සුන්ට රජයට දොස් කියන්න හරි. ජනාධිපතිතුමාට දොස් කියන්න හරි, මැරෙයි කියලා බයෙන් හිටපු මිනිස්සුන්ට එන්නත් තුනක්ම ලබල දීලා. බනින්න හරි කවුද සැලැස්වූවේ ජනාධිපතිතුමා කියන එක පැහැදිලි කරන්ඩ ඕන''
මේ අතර ජනාධිපතිවරයා කියා සිටියේ, කෝවිඩ් වසංගතය නිසා ඇති වූ බාධක මධ්‍යයේ වුවද බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමේ කාර්යයට තමන් කැපවී සිටින බවයි.
''මම විශ්වාස කරනවා ප්‍රධාන වශයෙන්ම මාව පත්වුණු එක කාරණයක් තමයි අපේ රටේ ඉතිං පසුගිය අවුරුදු දෙක තුළ කෝවිඩ් වසංගතය නිසා බාධක තිබුණත් බාධක මැද්දේ මේ කාරණය සඳහා මම විශාල වශයෙන් රාජ්‍ය අනුග්‍රහය දැක්වූවා. ඒක හින්දා තමයි සඳහිරුසෑය දීඝවාපි සංරක්ෂණය නීලගිරි සංරක්ෂණය, මුහුදු මහා විහාරය, කූරගල මේ සෑම තැනකටම ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක බලකායේ විශාල සංඛ්‍යාවක් අපි යොදවලා තමයි මේ වැඩ කටයුතු කරන්නේ''