අත්බෝම්බය: සැකකරුගෙන් රහස් ප්‍රකාශයක්

දේවස්ථානයෙන් හමුවූ අත්බෝම්බය: සැකකරුගෙන් අධිකරණයට පැය එකහමාරක රහසිගත ප්‍රකාශයක්..

by Staff writer 21-01-2022 | 9:34 PM

COLOMBO (News 1st)  - බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ ජීව අත්බෝම්බය තබා ගිය බව කියන චෝදනා මත පොලිස් රැඳවුම් භාරයේ සිටි ලියනගේ දයාසේන නැමති පුද්ගලයෙකු අද (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නේ ය.

ඒ, සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. එහිදී සැකකරු කළ ඉල්ලීමකට අනුව ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ පැය එකහමාරක කාලයක් රහස් ප්‍රකාශයක් ලබා දුන්නේ ය. ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් දින 90 ක රැඳවුම් නියෝග මත මෙම පුද්ගලයා රඳවා තබා වැඩිදුරටත් විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය එහිදී අධිකරණයට දන්වා සිටියේ ය. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හය දෙනෙකු ද රැඳවුම් නියෝග මත රඳවා තබා වැඩිදුරටත් විමර්ශන සිදු කරමින් පවතින බව ද කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් දන්වා සිටියේය.