දේවස්ථානයේ අත්බෝම්බය :රනාලේ රුවන් අත්අඩංගුවට

දේවස්ථානයෙන් හමුවූ අත්බෝම්බය : රනාලේ රුවන් අත්අඩංගුවට

by Staff Writer . 21-01-2022 | 3:29 PM

COLOMBO (News 1st) – දේවස්ථානයෙන් හමුවූ අත්බෝම්බය රැගෙන ආ බව කියන රනාලේ රුවන් අත්අඩංගුවට

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබි සොයා ගත් අත්බෝම්බය රැගෙනවිත් දුන් බව කියන රනාලේ රුවන් නමැත්තා හම්බන්තොට රන්න ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය පවසන්නේ දැනට අත්අඩංගුවේ සිටින වෛදවරයා ලබාදුන් තොරතුරු අනුව ඊයේ ඔහු අත්අඩංගුවට ගත් බවයි. දැනට අත්අඩංගුවේ සිටින පිළියන්දලදි අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ උපදෙස් අනුව එම අත්බෝම්බය දේවස්ථානයේ තබා ඇතැයි පොලීසිය පවසයි. කොළඹ අපරාධ කොට්ඨාසය මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලීසියේ රඳවා සිටින සැකකරුවෙකු විසින් අත්බෝම්බය දේවස්ථානයේ තබා ඇති බවයි. සැකකරු පනාමුරේ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි. එම සැකකරු අත්බෝම්බය සොයා ගත් දිනයේ උදෑසන දේවස්ථානයට පැමිණි ආරක්ෂිත කැමරාවල සටහන් වූ පුද්ගලයා බව ද පොලීසිය පවසයි. පොලීසිය පවසන්නේ බෙල්ලන්විල විහාරස්ථානයේ සහ ලංකා රෝහලේ අත්බෝම්බ තැබිම ද අත්අඩංගුවට ගත් 75 හැවිරිදි වෛද්‍යවරයාගේ උපදෙස් මත සිදුකර ඇති බවට විමර්ශනවලදි අනාවරණය වී ඇති බවයි. බිරිඳගේ මරණය හේතුවෙන් ඇතිවූ කම්පනය මත මෙවැනි ක්‍රියාවක් සිදුකරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. කෙසේවෙතත් අත්අඩංගුවට පත් වෛද්‍යවරයාගේ පුත්‍රයා වන සමාජ මාධ්‍ය හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා ඊයේ මාධ්‍ය හමුවකදී සිය පියාට නගන චෝදනා ප්‍රතික්ෂේප කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර දේවස්ථානයේ සේවකයින් තුන්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය හමුවක් පවත්වමින් පසුව ප්‍රකාශ කළේ,  උදෑසන කාලයේ පටිගතවී තිබූ සීසීටීවී දර්ශන පවා විමර්ශනය නොකර පොලිසිය දේවස්ථාන සේවකයින් අත්අඩංගුවට ගත් බවයි. කාදිනල් හිමිපාණන් සැකකටයුතු පුද්ගලයෙකුගේ දර්ශන ද එදින ප්‍රසිද්ධ කළේ ය. මේ වනවිට පොලිසිය එම දර්ශන ද පරීක්ෂා කර ඉදිරි විමර්ශන සිදුකරමින් සිටී.