අඩුපාඩු මගහරවා යල කන්නයට සූදානම් විය යුතුයි

අඩුපාඩු මගහරවා යල කන්නයට සූදානම් විය යුතුයි - ජනපති

by Staff writer 21-01-2022 | 5:32 PM

COLOMBO (News 1st) – කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට අද(21) පෙරවරුවේ ලක් කෙරිණ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙවර වනුයේ “කෘෂිකාර්මික ඉඩම්වලින් ප්‍රශස්ත ඵලදායීතාව ලබාගත හැකි වන පරිදි ආයතනික, සහායක, නෛතික සහ කළමනාකරණ සේවාවක් සැකසීම හා කාලානුරූපව පවත්වාගෙන යාමයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එම අරමුණු නිසි අයුරින් සිදු වන්නේ ද යන්න සොයා බැලීම ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයේ අපේක්ෂාව වූ බවයි. දශක කිහිපයක් පැරණි එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ගොවිජන සමාලෝචන මණ්ඩලය, ගොවිජන බැංකු, පාලන, ගිණුම්, සංවර්ධන, නීති, ආයතනික සංවර්ධන සේවා, ඵලදායී අලෙවි සහ ඉංජිනේරු ජල කළමනාකරණ යන සියලු අංශ අධීක්ෂණයට ලක් කළ ජනාධිපතිතුමා පැය තුනකට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමග සාකච්ඡා කරමින් කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සොයා බලා තිබේ. හරිත කෘෂිකර්මාන්තයක් සහ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය රජයේ ප්‍රතිපත්තියයි. මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය සහ ලැබෙන අස්වැන්න පිළිබඳ විමර්ශනය කර, අඩුපාඩු මගහරවා ගනිමින් යල කන්නයට සූදානම් විය යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ. ජනාධිපතිතුමා අවධාරණය කර ඇත්තේ, වී ගොවිතැන සඳහා යොදාගත නොහැකි ඉඩම් වෙනත් බෝග සඳහා යොදාගත යුතු බවයි.