ප්‍රතිසංස්කරණය කළ 'සිරිමතීපාය' විවෘත කෙරේ

ප්‍රතිසංස්කරණය කළ 'සිරිමතීපාය' විවෘත කෙරේ

by Staff Writer . 20-01-2022 | 4:32 PM
 

COLOMBO (News 1st) –  නවීකරණය කරන ලද කොළඹ, මල් පාරේ පිහිටි 'සිරිමතීපාය' අග්‍රාමාත්‍ය කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරිණ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා කාර්යාල පරිශ්‍රයේ තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමාවට මල් පූජා කිරීමෙන් අනතුරුව රාජකාරී ආරම්භය සංකේතවත් කළ බවයි. කාර්යාලයේ නව රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කරමින් මුල් දින කවරයක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව මන්දිරයේ ප්‍රතිසංස්කරණය සිදු කර තිබේ. ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා මහතා විසින් සිය පුත් ශ්‍රීමත් ඇල්බට් අර්නස්ට් ද සිල්වා මහතා වෙනුවෙන් එම දෙමහල් මන්දිරය 1916 දී ඉදිකළ අතර ඔහුගේ අභාවයෙන් පසු 1960 වසරේදී දී පවුලේ සාමාජිකයන් විසින් එය රජයට පවරා දුන්නේ ය. අධ්‍යාපන හා ගුවන් විදුලි අමාත්‍යාංශය, පළාත් පාලන හා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය එකල  සිරිමතීපායෙහි පවත්වාගෙන ගොස් ඇති අතර වර්ෂ 1978 වසරේදි එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සිරිමතීපායෙහි අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටුවනු ලැබී ය. වසර 100කට වඩා අධික සිරිමතීපාය පැරණි සැලසුමට අනුවම පූර්ණ ලෙස නවීකරණයට ලක් කොට ඇත්තේ වසර 44කින් පසුව යි.