සොහොන් ගැබ පරීක්ෂා කිරීමට පුරාවිද්‍යා නිලධාරීන්

දේවස්ථානයෙන් හමුවූ සොහොන් ගැබ පරීක්ෂා කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් කණ්ඩායමක්

by Staff Writer . 19-01-2022 | 11:51 AM

COLOMBO (News 1st) – වෙන්නප්පුව බෝලවත්ත පරලෝක රාජේශ්වරීගේ දෙව්මැදුරේ ඉදිකිරීමක් අතරතුර හමුවූ සොහොන් ගැබ පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් යොමු කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, එම සොහොන් ගැබ දැනට කිසිදු වෙනසකට ලක් නොකර එම ස්ථානයේම තබන ලෙස උපදෙස් දුන් බවයි. දේවස්ථාන පියතුමන්ගේ කැමැත්ත විමසා මෙම සොහොන් ගැබ විවෘත කිරීමට කටයුතු කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ ය. අදාළ සුසානයේ කිතු සිරිත කවියට නැගූ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාගේ සිරුර එහි මිහිදන් කර ඇත්දැයි යන නිවුස් ෆස්ට් නැගූ පැනයට පිළිතුරු දුන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනාරාල්වරයා පැවසුවේ ඒ පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹිය හැක්කේ සුසානය විවෘත කිරීමෙන් අනතුරුව ලැබෙන සාක්ෂි මත බවයි. පරලෝක රාජේශ්වරීගේ දෙව්මැදුර වසර 300කට එපිට ඉතිහාසයක් ඇති බොහෝ දෙනාගේ වන්දනාමානයට පාත්‍ර වූ දේවස්ථානයකි. මෙම සොහොන් ගැබ හමුවුණේ දේවස්ථානයේ ඉදිකිරීමක් අතරතුරයි. ඊයේ පස්වරුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ ස්ථානය පරික්ෂා කළ අතර එහිදි මූලික වශයෙන් අනාවරණ වූයේ සොහොන් ගර්භය පිහිටි භූමියේ පස් ස්ථරවල යුග දෙකක කරුණු හෙළි වන බවයි.