හරිත කෘෂිකර්මය සඳහා වන රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ - ජනපති

by Staff Writer . 18-01-2022 | 11:43 AM
COLOMBO (News 1st) –  හරිත කෘෂිකර්මය සඳහා වන රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, සිදු වූ අඩුපාඩු නිවැරදි කරගෙන වඩා ඵලදායී ලෙස මෙම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවයි. තව ද අවසන් ඉලක්කය වන්නේ කෘෂිකර්මාන්තයේ ඉහළ ඵලදායීතාවක් ලබා ගැනීම සඳහා නවීණ තාක්ෂණය හඳුන්වා දීම හා ජෛව පොහොර භාවිතය ප්‍රවර්ධනය කොට වස විසෙන් තොර කෘෂි නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළක් නිර්මාණය ගැනීම බව ද ජනාධිපතිවරයා 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා පැවසුවේ, අරමුණු හා සැලැස්ම නිසි ලෙස සන්නිවේදනය නොවීම හා වැඩපිළිවෙළ හඳුන්වා දීමේ දි ඇති වූ ප්‍රායෝගික ගැටලු දේශපාලනීකරණය වූ නිසා සමාජය තුළ වැරදි වැටහීමක් ඇති වූ බවයි. හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ වූ පුළුල් සංකල්පය සමහර විට වගකිවයුත්තන් විසින් පවා කාබනික පොහොරවලට ලඝු කොට තේරුම් ගැනීම වැරදි මතයන් ජනගත වීමට හේතුවක් වූ බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය. බොහෝ භෝග වර්ග ආනයනය නතර කිරීම හමුවේ අද වන විට‌ දේශීය ගොවියාට සිය නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා ගැනීමට හැකිවී ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
''මුං ඇට, කව්පි, කහ, ඉඟුරු වැනි භෝග වර්ග 16ක් පිටරටින් ආනයනය කිරීම නතර කළා. අද ගොවි ජනතාව ඒවායේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. කෘෂි නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා ගන්නවා. ඒ වගේම තේ . පොල්, රබර් වලටත් පසුගිය කාලයේ හොඳ මිලක් ලැබුණා. එයට හේතුව අප ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුයි. අප අද කහවලින් ස්වයංපෝෂිත වෙලා. ප්‍රති - අපනයනය නතර කරපු නිසා ගම්මිරිස්, කුරුඳු, පුවක් වැනි භෝග නිෂ්පාදකයන්ට හොඳ මිලක් ලැබෙනවා. ඒ වගේම බුලත්වලට අද හොඳ මිලක් ලැබෙනවා''
ඉදිරියේ වාහන ගෙන්වීම සඳහා අවසර දීමේදී විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ ගෙන්වීම සඳහා ප්‍රමුඛතාව දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
''ඒ අනුව, වාහන සඳහා විදුලිය සැපයීමේ දී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කරන්නට අප සැලසුම් කළ යුතුයි''
වසර 2050 වන විට කාබන් ශූන්‍යතාව ඉලක්කය සාක්ෂාත් කර ගැනීම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, නිසිදු හේතුවක්මත මින් ඉදිරියට ගල් අඟුරු බලාගාර ඉදි කිරීමට අනුමැතිය ලබා නොදෙන බවයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයට ඉදිරිපත් කරමින් සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ජනතා සහය අවශ්‍ය බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කියා සිටියේ රටට ආදරය කරන සියලු දෙනා එක්ව ඒ සඳහා සහය ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

රාජාසන කතාව සඳහා ජනපතිගේ සම්ප්‍රාප්තිය...

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද පෙරවරුවේ ආරම්භ වූයේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අද උත්සවශ්‍රීයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වූයේ, ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිට පැවරී ඇති බලය අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 දෙසැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් පසුවයි. අද පෙරවරුවේ, පළමුව මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියහ. අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ පැමිණීම සිදුවිය. ජනාධිපතිවරයාගේ පැමිණීමත් සමග ජනාධිපති ධජය පාර්ලිමේන්තු සංකීර්ණයේ එසවූ අතර ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ, කථානායකාවරයා විසිනි. පසුව පාර්ලිමේන්තු මූලාසනයේ අසුන්ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජාසන කතාව සිදු කළේ ය.