ප්‍රා. සභාවක සහ නගර සභාවක සභාපතිවරු ඉවතට

මාවනැල්ල ප්‍රා. සභාවේ සහ බලංගොඩ නගර සභාවේ සභාපතිවරු ඉවත් කරමින් ගැසට් නිවේදනයක්..

by Staff Writer . 16-01-2022 | 6:18 PM

COLOMBO (News 1st) –  මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.පී. චන්දන කුමාර ජයවන්දල ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ අත්සනින් යුතුවයි. එම තීරණය ගෙන ඇත්තේ, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්වීම හේතුවෙන් ය. පළාත් සභා පනත යටතේ එවැනි අවස්ථාවකදී සභාපති ධුරය පුරප්පාඩු වූවා සේ සැලකිය හැකියි. අයවැය යෝජනාව යළි ඉදිරිපත් කර සම්මත කරගන්නා තෙක් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ බලතල උප සභාපතිවරයා යටතට පවරන බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය. මේ අතර බලංගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන ද ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකමින් සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට හේතුවී ඇත්තේ ද අයවැය යෝජනාව පරාජයට පත්වීමයි. ඒ අනුව බලංගොඩ නගර සභාවේ පාලන කටයුතු පවත්වාගෙන යාමේ බලය උප සභාපතිවරයාට පවරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.